භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා අද දිවුරුම් දෙයි

භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා අද (21දා) පස්වරු 1.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. පස්වරු 3.00ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිල වශයෙන් වැඩ භාර ගැනීමට ද කටයුතු යොදා ඇතැයි විපක්‍ෂ නායක මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවැසීය. 

දේශපාලන ක්‍ෂේත්‍රය තුළ 50 වසරකට අධික කාලයක් පොදු මහජනතාවගේ සේවය වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් කළ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු, අමාත්‍යාංශ කිහිපයක් හොබවමින් කැබිනට් අමාත්‍යවරයකු ලෙසද දෙවරක් විපක්ෂ නායකවරයකු ලෙසද, දෙවරක් අග්‍රාමාත්‍යවරයා ලෙස හා මේ රටේ පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසද, දෙවරක් ජනාධිපති ධුරයට පත්වීමෙන් රට වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර තිබේ.

තම සොහොයුරකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් විධායක ජනාධිපති ධුරය හොබවද්දී ඒ මහතා හමුවේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම විශේෂත්වයකි.

මීට අමතරව මෙම භාරකාර ආණ්ඩුව කැබිනට් අමාත්‍ය ධුර 15ක් හෝ 16කින් සමන්විත වීමට ඉඩ තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයකු අප හට ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් 6 දෙනකුට මෙම සීමිත කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා සඳහන් කළේය.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන්, ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද යන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ට කැබිනට් අමාත්‍ය ධුර 6ක් හිමිවීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍ය ධුර 2ක් හිමිවීමට නියමිත බවත් ඉතිරි කැබිනට් අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් ඊයේ (20දා) රාත්‍රිය වනතුරුම සාකච්ඡා පැවැති බවත් ඒකාබද්ධ විපක්ෂයේ එම නියෝජිතයා ප්‍රකාශ කළේය.

සීමිත කැබිනට් මණ්ඩලයක් සහිතව මෙම භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන තෙක් පමණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *