පූජිත් හෝ හේමසිරි මට මොකවත් කිව්වේ නැහැ – ජනාධිපති

පාස්‌කු ඉරිදා දින ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වන බවට ආරක්‍ෂක ලේකම්, පොලිස්‌පති හෝ ආරක්‍ෂක අංශ කිසිවක්‌ තමන් දැනුවත් කළේ නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20 දා) එම ප්‍රහාරය සම්බන්ධව සොයා බැලෙන විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පවසා ඇත. එම තේරීම් කාරක සභාව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී රැස්‌වන නමුත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ රැස්‌වූ අතර එය ජනමාධ්‍යට ද විවෘත කර තිබුණේ නැත.

තේරීම් කාරක සභාව පෙරවරු 10.15 ට පමණ ආරම්භ වී ඇති අතර එය දහවල් 12.30 දක්‌වා පැවැත්වී තිsබේ. මෙම තේරීම් කාරක සභාව නියෝජනය කරන සාමාජික මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඊට සහභාගි වී ඇති අතර එය ඉතා සුහදව සිදුවූ බව එම සාමාජිකයෙක්‌ කීය.

මෙහිදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව නිකුත් කරන ලද මලල්ගොඩ වාර්තාවද තේරීම් කාරක සභාවට ලබාදී ජනාධිපතිවරයා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම කමිටුවට දුන් සාක්‍ෂි සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දුන් සාක්‍ෂි පරස්‌පර බවද මෙහිදී සඳහන් කර ඇත.

ඊට අමතරව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව කිසිදු දැනුවත් කිරීමක්‌ නොකළ බවද මෙම ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන්ව පොලිස්‌පතිවරයා දියතලාවේදී හමුවුවද තමන්ව කිසිදු දැනුවත් කිරීමක්‌ නොකළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

පූජිත් ජයසුන්දර මහතා පොලිස්‌පතිවරයා ලෙස පත්වීම පිළිබඳවද තමන් තුළ සතුටක්‌ නොතිබුණු බවද තම අපේක්‍ෂාව වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමරත්න මහතා පොලිස්‌පතිවරයා වනු ඇතැයි යන්න බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

එස්‌. එම්. වික්‍රමරත්න මහතා පොලිස්‌පති ලෙස පත්වූයේ නම් මෙම ත්‍රස්‌ත ප්‍රහාරය වැළකෙනු ඇතැයි තමන් සිතන බවද ජනාධිපතිවරයා පවසා ඇති අතර පූජිත් ජයසුන්දර මහතා පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මොහොතේ පාන්දර හතරට පමණ ඇහැරවා තොරතුරු පැවසූ බවද ජනාධිපතිවරයා කියා ඇත.

එහිදී මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තමන්ගේ උපදෙස්‌ පරිදි සිදුවූ බව කියමින් එහි ගෞරවය ලබා ගැනීමට පොලිස්‌පතිවරයා උත්සාහ කළ නමුත් තමන් ඒ මොහොත්දීම මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමේ ගෞරවය හිමිවූයේ කාටදැයි පැහැදිලි කිරීමක්‌ දුන් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

රාජ්‍ය බුද්ධි අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ද මේ සම්බන්ධව තමන්ව හෝ තම ජනාධිපති ආරක්‍ෂක අංශය ද කිසිවිටෙක දැනුවත් කර නැතැයිද සඳහන් කර තිබේ.

මෙහිදී ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස පාස්‌කු ප්‍රහාරයේ වගකීම ජනාධිපති වන ඔබ භාරගත යුතු නේ දැයි තේරීම් කාරක සභාවේ සාමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ හමුදා මූලස්‌ථානයේදී ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම හිටපු හමුදාපති ලෙස භාරගත්තේ දැයි යනුවෙනි.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විඡේවර්ධන මහතා ආරක්‍ෂක කවුන්සිලයට නොකැඳවීම පිළිබඳ තේරීම් කාරක සභාවේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් විමසූ විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය 1999 වසරේදී නිකුත් කරන ලද චක්‍රලේඛයක්‌ අනුව අගමැතිවරයා කැඳවීම අත්‍යවශ්‍ය නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

රුවන් විඡේවර්ධන මහතාට ද අවශ්‍ය නම් ඊට සහභාගි වීමට හැකියාව ඇති බවත් ඔහුගේ සහභාගි වීම පිළිබඳව කිසිදු විරෝධයක්‌ හෝ නොපැමිණෙන්නැයි කියා දන්වා නැති බවද පවසා තිබේ.

වසර 30 ක යුද්ධය අවසන් කිරීමට ක්‍රියාකරන ලද මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ ලබා නොගැනීම සම්බන්ධයෙන් ද විමසා ඇති අතර එහිදී දේශපාලන ප්‍රශ්න හේතුවෙන් ඔහුගෙන් උපදෙස්‌ ලබා නොගත් බව පවසා ඇත.

මේ අතර මේ වන විටත් ත්‍රස්‌ත නායක සහරාන්ගේ ගෝලයන් විටින් විට හමුවීම සම්බන්ධව මාධ්‍ය වාර්තා කරන බවත් ඒ සම්බන්ධයෙන් කිව හැක්‌කේ කුමක්‌දැයි කියා කාරක සභා සාමාජිකයන් විමසා ඇති අතර එවිට ජනාධිපති පවසා ඇත්තේ මෙම ත්‍රස්‌ත කණ්‌ඩායමේ ගැටලුව මේ වන විට 90% කින් පමණ අවසන් කර තිබෙන බවට තමන් වෙත දන්වා ඇති බවයි.

ඒ අනුව පැය දෙකක පමණ කාලයක්‌ තිස්‌සේ මෙම සාක්‍ෂි විමසීම සිදුවී ඇති අතර පාස්‌කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු ඊයේ දිනයෙන් අවසන් වන අතර ඔක්‌තෝබර් 30 වැනිදාට ප්‍රථමයෙන් මේ සම්බන්ධව අවසන් වාර්තාව සකසන බව සාමාජික මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කීය.