පක්ෂ 11ක ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කරයි

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකා සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය විසින් එලෙස ඉල්ලා තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන තීන්දු හා තීරණ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් පක්ෂ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ පක්ෂයේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලෙසටද ජනාධිපතිවරයා විසින් එම පක්ෂ නායකයින් වෙත යොමුකළ ලිපියේ සඳහන් බව පැවසේ.

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම පිළිබඳව විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධයක් එල්ල වුණි.
ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසට ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ඉල්ලීමක් කරනු ලැබීය.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ලිඛිතව ප්‍රතිචාර දක්වමින් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී හෝ ආණ්ඩු පක්ෂ රැස්වීමකදී සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් හා විදුලිබල නිලධාරීන්ට ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කිරීමට උපදෙස් ලබා දෙන ලෙසත් එම ලිපියේ සඳහන් කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *