කැලණි පන්සලේ දායක සභාවෙන් රනිල් විසිවෙච්ච කතන්දරේ

කැලණි රජමහ විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම ඉකුත් සතියේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේය. රනිල් වික්‍රමසිංහ කැලණි දායක සභාවේ වසර 37ක් කටයුතු කර ඇත. කැලණි විහාරයේ නූතන පුනර්ජීවනයේ මහා දානපතිනිය වූ හෙලේනා විජයවර්ධනගේ පරපුරෙන් පැවත එන්නෙකි. එවැනි පසුබිමක් ඇති තැනැත්තකු හිටි අඩියේ දායක සභාවේ සභාපති ධුරයෙන් නෙරපා හැරීම බරපතළ සංසිද්ධියකි.

අගමැති දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වන බව කලින්ම දැනුම් දී තිබූ බැවින් ඉවත් කරන්නට දෙයක් නැති බවට විශේෂ නිවේදනයක් සැප්තැම්බර් 01දා එ.ජා.ප.ය විසින් නිකුත් කරනු ලැබීමත් සමඟ ප්‍රශ්නය තවත් ව්‍යාකූල වූයේය. විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට එල්ල වී ඇති දේපළ චෝදනා සම්බන්ධයෙන් නි‍ෙදාස් වීමක් වනතුරු තමා සභාපති තනතුරෙන් ඉවත් වන බව අගමැති දැනුම් දී තිබූ බවද එම නිවේදනයෙන් කියැවිණි. මෙම සිදුවීමේ සත්‍ය තත්ත්වය කුමක්ද යන්න දැනගැනීම සඳහා හමුවිය යුතු වඩාත් සුදුසුම පුද්ගලයා වන්නේ කැලණි රජමහ විහාර දායක සභාවේ සම ලේකම් සමන් රණසිංහ මහතාය. අපි ඒ මහතා හමුවුණෙමු.

අගමැති රනිල් වික්‍රමසිංහ කැලණි රජමහ විහාර දායක සභාවෙන් ඉවත් කළාද? ඉවත් වුණාද? මොකක්ද ඇත්ත තත්ත්වය?

මම තත්ත්වය පැහැදිලි කරන්නම්. රජමහ විහාරයේ පෙරහර පවත්වන්නේ ජනවාරි මාසයේ. සම්ප්‍රදායයක් හැටියට සැප්තැම්බර් මුල නායක ස්වාමීන් වහන්සේ දායක සභාව කැඳවා පෙරහර කරන බව දැනුම් දෙනවා. අන්න ඒ දායක සභා රැස්වීම තමයි පසුගිය ඉරිදා පැවැත්වුණේ.

එදින රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වුණාද?

නැහැ. අපි දින යොදා ගන්නේ එතුමාට දන්වලා. නමුත් එදින එතුමා පැමිණියේ නැහැ. විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු ඉදිරියට ගෙනගියා. එහිදී වීරසිංහ සාමාජික මහතා විසින් යෝජනාවක් ගෙනාවා. අගමැති වික්‍රමසිංහ තවදුරටත් දායක සභාවේ සභාපති තනතුර දැරීමට සුදුසු නැති බවට. පැරැණිම සාමාජිකයකු වූ රත්නසිරි වික්‍රමසිංහ ඒ අදහස අනුමත කරමින් කරුණු දැක්වූවා. මේ දෙදෙනා දැක්වූ කරුණු මට පිළිගත හැකි නිසා මම ඔවුන්ගේ යෝජනාව ස්ථිර කළා.

අගමැති සභාපති තනතුරෙන් ඉවත් නොකළ යුතු බවට අදහස් ඉදිරිපත් වුණේ නැද්ද?

සම ලේකම් ජයරාජ චන්ද්‍රසේකර අගමැතිතුමාට පක්‍ෂව කරුණු ඉදිරිපත් කළා. චන්ද්‍රසේකර මහතා එ.ජා.ප. කෘත්‍යාධිකාරි සභාවේත් සාමාජිකයෙක් ඔහු පෙන්වා දුන්නේ අගමැති රජමහ විහාරයට බොහෝ උදවු කර තිබෙන බවයි. එතැනදී නායක හාමුදුරුවෝ අදහසක් ඉදිරිපත් කළා. දැන් මෙතැන මත දෙකක් තිබෙනවා. ඒ නිසා දැනට සම්මත වී තිබෙන අගමැතිතුමා සභාපති ධුරයෙන් ඉවත් කරන්නට විරුද්ධ අය සිටිනවා නම් අත් ඔසවන්න කියා. එවිට 7 දෙනකු පමණක් අත් එසවූවා. එක්කෙනෙක් අර එ.ජා.ප. කෘත්‍යාධිකාරි සභාවෙත් ඉන්න අපේ සමලේකම්, තව කෙනෙක් ඔහුගේම පුතා. ඊළඟට ප්‍රාදේශීය සභාවේ හිටපු එ.ජා.ප. සභාපති, හතර වැනියත් ඒ පක්‍ෂයේම කෙනෙක්. මම නාඳුනන පාට ෂර්ට් එකක් ඇඳපු කෙනකුත් හිටියා. කොහොමත් විරුද්ධව 7ක් තමා හිටියේ.

දායක සභාවේ සාමාජිකයන් කොපමණ සිටිනවාද?

150ත් 200ත් අතර සිටිනවා. අර 7 දෙනා ඇරෙන්න ඉතිරි සියල්ලන්ම අත ඔසවා අගමැති ඉවත් කරන්න පක්‍ෂව ඡන්දය දුන්නා. අර 7 දෙනාගෙනුත් එක් අයෙක් පක්‍ෂව ඡන්දය දුන්නා. එතකොට අගමැති දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කරනවට විරුද්ධ වුණේ 6 දෙනයි.

අගමැති වික්‍රමසිංහ කැලණි විහාරයේ දායක සභාවට සම්බන්ධ වීම සිදුවුණේ කොහොමද?

මගේ පියා සිරිසෝම රණසිංහ මුල් කාලයේ සිටම දායක සභාවට සම්බන්ධ වූ අයෙක්. ඔහු ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ සමීපව කටයුතු කළ අයෙක්. ඔහු අගමැති වික්‍රමසිංහ මහතාගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ සමඟත් සම්බන්ධයි. මගේ පියා තමයි එස්මන්ඩ් සමඟ කතා කරලා රනිල් වික්‍රමසිංහව කැලණියට ගෙනාවේ. කැලණිය ආසනය කැලණිය, මහර, බියගම කියලා ආසන තුනකට කැඩුණාම රනිල් වික්‍රමසිංහ බියගම ආසනයේ එ.ජා.ප. සංවිධායක වුණා. සිරිල් මැතිව් කැලණියට වැටුණා. එතකොට අපේ දායක සභාවේ සභාපති හැටියට හිටියේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ මල්ලි රාජ නීතිඥ එච්.ඩබ්ලිව්. ජයවර්ධන. ඊට පස්සේ උපාලි විජයවර්ධන පත්වුණා. උපාලි මහත්තයාගේ අතුරුදන් වීමෙන් පසු 1982දී රනිල් වික්‍රමසිංහ මහතා දායක සභාවේ සභාපති වුණා. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනෑ. මෙතැන කවදාවත් දේශපාලන කතාවක් තිබුණේ නැහැ. පැත්තක් ගත්තෙත් නැහැ.

අගමැති වික්‍රමසිංහ මුල් කාලයේ දායක සභාවේ කටයුතුවලට ක්‍රියාකාරී සහායක් ලබාදුන්නාද?

ඔව්. රැස්වීම්වලට ආවා. ගියා. නමුත් එතුමාගේ සාමාන්‍ය ස්වභාවය තමයි වැඩවලදී පසු විපරම් කර සොයා බලා මැදිහත් වීමක් කළේ නැහැ. එහෙම ක්‍රියාකාරිත්වයක් තිබුණා නම් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වෙන්නෙත් නැහැ.

2015 අගමැති වුණාට පසුව එතුමා දායක සභාවේ රැස්වීම්වලට පැමිණියාද?

ආවා. අපි දින යොදා ගත්තේ එතුමාගෙන් අහලා. ආවට සභාව මෙහෙයවීමක් නම් කරන්නේ නැහැ. සහභාගි වෙලා කතාවක් පවත්වලා යනවා විතරයි. දායක සභාවේ අයගෙන් චෝදනාවක් තිබුණා මැදිහත් වීම මදිකම ගැන. පසුගිය පෙරහරට ඉස්සෙල්ලා නායක හාමුදුරුවෝ සභාවට දැනුම් දුන්නා මුදල් තත්ත්වය දුර්වල නිසා අපි වියදම් අඩු කරලා පෙරහර උඩ මළුවට පමණක් සීමා කරමු කියලා. එතැන සභාපතිතුමත් හිටියා. එතුමා රටේ අගමැති. දෙයක් කරන්නත් පුළුවන්. අපි කවුරුත් අපේක්‍ෂා කළා සභාපතිතුමා වැඩේ අතට අරන් වෙනත් ආයතන දායක කරගෙන මුදල් ප්‍රශ්න නිරාකරණය කර පෙරහර වෙනදා පරිදිම ඉහළින් කරයි කියලා. නමුත් එහෙම කළේ නැහැ. එයා වෙනදා කරන කතාවත් නොකර නැඟිටලා යන්න ගියා. එදා තමයි දායක සභාවේ හුඟක් අයගේ හිත් කැඩුණේ. පස්සේ නැටුම් කණ්ඩායම් අඩු කරලා උඩ මළුවේ විතරක් පෙරහර කළා. දායක සභාවේ සභාපති අගමැති එහෙම තත්ත්වයකදී මෙහෙම වීම අපට ලොකු කනගාටුවක් වුණා.

මේ ප්‍රශ්නේ විවෘතව කතා කරන්න බැරි වුණාද?

තවත් කාරණයක් තිබුණා. ඒ දවස්වලම කොල්ලුපිටියේ වාලුකාරාමේ පෙරහරට අගමැති මැදිහත් වෙලා ඉහළින්ම කළා. ඒ පෙරහරේ කටයුතු සංවිධානය කළේ අරලියගහ මන්දිරයේදීමයි. එහෙම වුණාම නායක ස්වාමීන් වහන්සේගේ හිතටත් දැනෙනවා. මැදිහත් වීම හොඳයි වරදක් නැහැ. අපි අගය කරනවා. නමුත් අවුරුදු 40කට කිට්ටු කාලයක් එතුමා සභාපතිත්වය දරන කැලණි විහාරය නොසලකා හැරීම ගැන මගෙත් හිත රිදුණා. ඒකයි මමත් විරුද්ධව අදහස් පළ කළේ.

අගමැති දායක සභාවේ සභාපති තනතුරෙන් නෙරපීම තුළ දේශපාලන පසුබිමක් නැද්ද?

කොහෙත්ම නැහැ. එහෙම තිබුණා නම් ලේකම්කමෙන් අයින් වෙලයි මම කතා කරන්නේ. මෙතැනදි වුණේ පන්සලේ කටයුතුවලට දිගින් දිගටම දක්වපු නොසැලකිල්ලම පමණයි. 25 දෙනෙක්වත් එතුමාට පක්‍ෂව කතා කළේ නැහැ. එතුමාගෙන් වැඩක් නැති බව කාටත් දැනිලා තිබුණේ. කැලණි විහාරෙට ආධාර කරන්න කැමැති පිරිස් ආයතන ඕන තරම්. නායකත්වයක් තමයි අවශ්‍ය වෙලා තිබුණේ. ඒක අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ලැබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම මෙතැන වුණේ දායක සභාවේ පොදු කලකිරීම ප්‍රකාශයට පත්වීම.

දායක සභාවේ සභාපති ධුරයෙන් අස් කරන්න දෙයක් නැහැ අගමැති කලින්ම අස් වූ බවට එ.ජා.ප.ය නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ ගැන මොකද කියන්නේ?

ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. සමලේකම් හැටියට මට හෝ නායක හාමුදුරුවන්ට මේ වනතුරු එවැනි කිසිම දැනුම්දීමක් කර නැහැ. අනෙක් කාරණය මගේ අනෙක් සමලේකම් ජයරාජ් චන්ද්‍රසේකර මහතා එ.ජා.ප. කෘත්‍යාධිකාරී සභාවේ සාමාජිකයෙක්. අගමැති ඉවත් කරන්න යෝජනා සම්මත වෙද්දී ඒ මහතා කීවේ නැහැ අගමැතිතුමා අස් කරන්න දෙයක් නැහැ. අස්වෙලා ඉන්නේ කියලා. ඒ නිසාම පැහැදිලි වෙනවා මේක පසුව ගොතන කතාවක්.

කැලණි පන්සලේ නායක හිමියන්ට තිබෙන ඉඩම් දේපොළ සම්බන්ධ චෝදනාවලින් උන්වහන්සේ නිදහස් වනතුරු සභාපති ධුරයෙන් ඉවත් වන බව දැනුම් දී තිබූ බවයි එම නිවේදනයෙන් කියැවෙන්නේ?

ඒ ප්‍රකාශය ගැන මගේ දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. එය කළ යුතු ප්‍රකාශයක් නොවෙයි. එවැනි චෝදනාවක් මමත් අහපු මුල් අවස්ථාව. මගේ දැනුමේ හැටියට නායක හාමුදුරුවෝ කවදාවත් අයුතු විධියට ඉඩම් අත්පත් කරගන්න මැදිහත් වෙන කෙනෙක් නෙවෙයි. කැලණි පන්සලට අයත් ඉඩම් ඕන තරම් පෑලියගොඩ පැත්තේ තියෙනවා. කවදාවත් ඒවා අයිති කරගන්න ගියේ නැහැ. උන්වහන්සේ මුදල්, දේපළ පසුපස යන කෙනෙක් නොවන බව මට නිර්භයව ප්‍රකාශ කරන්න පුළුවන්. උන්වහන්සේ නිහඬව සිදුකරන සේවය අතිවිශාලයි. මෙයට පෙර මෙවැනි චෝදනා එල්ල වී නැහැ.

මේ චෝදනාව එල්ල වන්නේ එක්සත් ජාතික පක්‍ෂයෙන්?

දේශපාලන පක්‍ෂයක් මේකට ඉදිරිපත් වීම ගැන මම ලේකම් හැටියට තරයේ විරුද්ධ වෙනවා. දේශපාලන පක්‍ෂයකට සැලැස්මක් තියෙනවා. බෞද්ධාගමේ මුදුන් මල්කඩක් බඳු සිද්ධස්ථානයක නායක හිමියන්ට පක්‍ෂයක් චෝදනා එල්ල කිරීම භයානක තත්ත්වයක්. එහි වගකීම ගන්නේ කවුද. අපට දැනගන්න අවශ්‍යයි. මේ නිවේදනය එක්සත් ජාතික පක්‍ෂයේ නමින් නිකුත් කරන්න අණ දුන්නේ කවුද? රටේ වගකීමක් ගන්න හදන නායකයෙක් ඉන්න පක්‍ෂයක් මෙවැනි චෝදනාවක් එල්ල කිරීම ලොකු වරදක්. එ.ජා.ප. නායකයාට දායක සභාවේ සභාපතිකම දුන්නේ නැහැ හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ පරම්පරාවේ රනිල් වික්‍රමසිංහටයි සභාපතිකම දී තිබුණේ. මේ ගැන කතා කරන්න දේශපාලන පක්‍ෂයකට කිසිම අයිතියක් නැහැ. අවුරුදු 37කට ඉස්සර එතුමා මේ තනතුරට පත් වුණේ. අපේ නායක හාමුදුරුවෝ එහෙම දේශපාලන පක්‍ෂයකට ප්‍රමුඛස්ථානය දීලා කටයුතු කරලත් නැහැ. උන්වහන්සේ මේ ගැන දැඩි කම්පාවකින් ඉන්නේ. කැලණි පන්සලේ දේශපාලන අර්බුද තිබුණේ මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවන්ගේ කාලේ. එයින් පසුව මේ පන්සලේ දේශපාලනයක් නැහැ. මේක ඉතාම අසාධාරණයක්. කැලණි රජමහ විහාරයේ දේශපාලනයක් නැහැ. මොන පක්‍ෂයෙන් ආවත් පූජාවක් තියන්න අවශ්‍ය නම් ඒ කටයුතු සිදුකරනවා. එ.ජා.ප. නිවේදනයේ වගකීම ගන්නේ කවුද කියන එක අපි බලමු.

උදේනි සමන් කුමාර

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *