ජනපති ඝාතන කුමන්ත්‍රණයේ කට හඬ පොලිස්පතිගේ බවට තහවුරුයි !

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයට අදාළව දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා ලබාදුන් හඬ පටයේ තිබූ කටහඬ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ බව රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනයෙන් තහවුරු වී ඇති බව දිවයින පුවත්පත අද (19) වාර්තා කර තිබෙනවා.

මෙම කටහඬ සාම්පල් වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉකුත් සතියේ භාරදී ඇති බවයි එහි සඳහන් වන්නේ.

මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් දෙවැනි දිනටත් පෙරේදා (17 වැනිදා) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඉකුත් වසරේ නොවැම්බර් මස 25 වැනිදා ද පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබුණ බවද එහි සඳහන් වනවා.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළව හඬපට 23 ක් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙනවා.

මෙම කට හඬපට තහවුරු කිරීමට මීට පෙර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ද කටහඬ සාම්පල් පරීක්ෂා කිරීමට රස පරීක්ෂකවරයා කටයුතු කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ නාමල් කුමාර නමැත්තා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට හඳුන්වා දී තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *