අපේ ඉඩම අරගෙන හරි අම්මටයි මටයි එක තැන ඉන්න පුළුවන් හොද වැඩිහිටි නිවාසයක් සොයා දෙන්න (Photos)

උපතින්ම ඇස් දෙකම නොපෙනෙන තමන්ටත් වයෝවෘද්ධ මවටත් සිය නිවසේ ජිවත්වීමේදී කිසිම ආරක්ෂාවක් නොමැති බවත් තවදුරටත් නිවසේ සිටිය නොහැකි බවත් මව සමඟ සතුටින් ජිවත්වීට හැකි වැඩිහිටි නිවාසයකට දෙදෙනාම ඇතුළත් කර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන දෘශ්‍යාබාධිත අවිවාහක කාන්තාවකගේ අනුවේදනීය කතාවක් අපට වාර්තා වුයේ කෑගල්ල පොලිස් වසමේ දමුණුපොළ, අටුගොඩ ඉහළගම, ග්‍රාමයෙන්ය.

119 හදිසි දුරකථන අංකයට මීට දින කිහිපයකට ඉහතදී දුරකථන ඇමතුමක් ලබාගෙන යම් කිසි පුද්ගලයෙක් දන්වා ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ දමුණුපොළ ,අටුගොඩ ඉහළගම, දෙඹටලන්ද ප්‍රදේශයේ උපතින්ම ඇස් දෙකම නොපෙනෙන තරුණ කාන්තාවකුයි ඇගේ වයෝවෘද්ධ මවයි ඉතා අසරණව ජිවත්වෙමින් සිටින බවත් ඔවුන්ගේ දුක සැප සොය බලා ආරක්ෂාවක් සපයාදීට කිසිම කෙනෙකු නොමැති බවත් ඉතා ඉක්මනින්ම මෙම අසරණ මවයි දියණියයි පිළිබද සොයා බලා ගත හැකි ක්‍රියා මාර්ගයක් සලස්වන ලෙස කෙටියෙන් දන්වා තිබුණි. පසුව මෙම සිද්ධිය කෑගල්ල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනිත් මානවඩු මහතාට ක්ෂණිකවම දන්වා තිබුණි. ස්ථානාධිපතිවරයා මේ පිළිබද සොයා බලන ලෙස කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා යසන්ති කුමාරි මහත්මිය වෙත පැවරීමක් කළේය. ඒ අනුව ඇය ඉකුත් සිකුරාදා (30 දා) කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි (5597) නිලධාරිණිය සමඟ පොලිසියේ වාහනයකින්ම මේ අසරණව ජිවත්ව සිටින අම්මයි දුවයි පදිංචිව සිටින නිවස සොයා දමුණුපොළ, අටුගොඩ ඉහළගම, දෙඹටලන්ද ග්‍රාමය වෙත ගොස් තිබුණි.

අදාල නිවසට ගිය පොලිස් නිලධාරිණියන් දෙදෙනාට දෘශ්‍යාබාධිත තරුණිය වන ආර් පි ලක්ෂිකා ශිරෝමි (අවු 40) සිය මව ආර්,පි සෝමාවති (අවු 78) සමඟ අසරණව ජිවත්වන ආකාරය පිළිබදවත් කිසිවෙකුගේ පිහිටක් ආරක්ෂාවක් නොමැතිව බවත් පැවසුවාය. එහිදී දෘශ්‍යාබාධිත තරුණිය පොලිස් පරීක්ෂිකා යසන්ති කුමාරි මහත්මියට තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තම පියා තමා මවගේ කුසතුල පිළිසිද ගෙන සිටින අවස්ථාවේදී නිවසේ ඉඩමේ තිබු කොස් ගසක කොස් ගෙඩියක් කැඩීමට ගිය අවස්ථාවේදී ගසෙන් වැටී වසර හතරක පමණ කාලයක් එක්තැන්ව සිටියදී මිය ගිය බවත්ය. තමන්ට වැඩිමහල් සහොදරයෙක් සිටින බවත් ඔහු කෑගල්ල නගරයේ රේඩියෝ අලුත් වැඩියා කර උපයා ගන්නා සුළු මුදලින් අඹු දරුවන් සමඟ ඇකිරියගල ප්‍රදේශයේ බිරිදගේ නිවසේ ජිවත්වෙමින් සිටින ප්‍රකාශ කළාය. ඔහුගේ ද මේ වන විට තරමක් ඇස් පෙනෙන්නේම නැත. වැඩිමහල් සහොදරිය මාවනැල්ල ගල්අතර ප්‍රදේශයට විවාහ වී ගොස් ඇති අතර ඇය ඉතා අසරණව ගල් වැඩපලක ගල් කඩා ජිවත්වෙන පැවසුවාය. මේ හෙතුවෙන් ඔවුන් දෙදෙනාම අම්මටයි දෘශ්‍යාබාධිත බාල සහොදරියටයි වරක ප්‍රකාශ කර ඇත්තේ ඔබ දෙදෙනාට තියා අපි ජිවත්වෙන්නේද ඉතාමත් අමාරුවෙන් බව ප්‍රකාශ කල අවස්ථා එමට බව ලක්ෂිකා ශිරෝමි පැවසුවාය.

පසුව වර්තමාන ගලිගමුව ප්‍රදේශීය සභාවේ සභාපති සමන් ජයසිංහ මහතා 2010 වර්ෂයේ ගලිගමුව බල්ලපාන ඕලන්ද ළමා නිවාසයට දෘශ්‍යාබාධිත ලක්ෂිකා ශිරෝමි සිය දියණිය තම අනු දැනුම ඇතුවත් තමන් නැති කළක දියණියගේ අනාගත අභිවෘද්ධිය පිළිබද සිතමින් බවත් බවත් ලක්ෂිකාගේ මව අප සමඟ ප්‍රකාශ කළාය. වසර පහක් පමණ කායලක් ඕලන්ද ළමා නිවාසයේ සෙවන ලබමින් සිටින අවස්ථාවේදී එහි සෙවන ලබන තරුණයෙකු සමඟ ශිරෝමි ඇති කර ගත් ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වු ප්‍රශ්නයක් මත ඉවත් කෙරිණ. පසුව නිවසට පැමිණ සිටි ලක්ෂිකා ඕලන්ද නිවාසයේ පාලකවරයාගේ මැදිහත්වීම මත වරකාපොළ ප්‍රදේශයේ ළමා නිවාසයට යොමු කළේ ඉන් අනතුරුවය. එම ළමා නිවාසයේ වැඩ කරන්නේ නැති බව පවසා එහි පාලිකාව බැණ පහර දී ලක්ෂිකා එලවා දැමු බව ප්‍රකාශ කෙරිණ. පසු ලක්ෂිකා 2016 වර්ෂයේ යලි අටුගොඩ පිහිටි සිය මව පදිංචිව සිටින නිවසට පැමිණියාය. කලක් නිවසේ සිටි ලක්ෂිකා යලි ගලිගමුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත මොරොන්තොට ප්‍රදේශයේ පිහිටි කාන්තාවකගේ මැදිහත්වීමේන් පවත්වාගෙන යන කාන්තාවන් වෙනුවෙන්ම පුනරුත්ථාපනය කරනු ලබන කාන්තා නිවාසයකට ඇතුළත් කෙරිණ. එහිදී ද ඉවසා දරා ගත නොහැකි ප්‍රශ්න කිහිපයකට මුහුණ දීමෙන් පසු දානපතියයෙකු ගිය අවස්ථාවක ඔහුගේ දුරකථනයෙන් මවට දන්වා පසුව වයෝවෘද්ධ මව විසින් ඇය යලි නිවසට රැගෙන ආවාය.

දැනට තම වයෝවෘද්ධ මවට මසකට රුපියල් 1000 ක සමෘද්ධි දීමනාවක්ද රුපියල් 250 ක මහජන අධාරයක්ද වයස අවුරුදු 70 ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ප්‍රධානය කරනු ලබන රුපියල් 1900 ක් අධාර මුදලක් ලැබෙන බවත් එම මුදල් වලින් තම මව සමඟ ජිවත්වෙමින් සිටින බව ද ලක්ෂිකා පැවසුවාය. දැනට මොවුන් පදිංචිව සිටින නිවස වැඩිමහල් සහොදරයා විසින් ඉදිකර ඇති අතර ඇස් දෙකම නොපෙනුනත් හුරුවට ලක්ෂිකා නිවස ඇතුළත් පිටත් අතුපතු ගා පිරිසිදු තබාගෙන සිටියි. නිවසට ජලය නොමැත. ලක්ෂිකා අල්ලපු නිවසට ගොස් නිවසේ සියලු අවශ්‍යතා සඳහා බාල්දිවලට වතුර රැගෙන එනු ලබයි. මවගේ වයෝවෘද්ධ බව නිසා දැන් ලක්ෂිකාට කර කියා ගත හැකි කිසිම දෙයක් ද නොමැත. ඇස් නොපෙනෙන දියණිය විසින් උයා පිහා දෙන කෑම ටික ගන්නා බවත් දින කිහිපයක සිට එකත් කන්න බැරි බවත් නා ගැනීමට අවශ්‍යතාවය තිබුණ ද පහළ පිහිටි ඇළට යා නොහැකි බවත් පැවසුවාය.

ආර් පි ලක්ෂිකා ශිරෝමි තවදුරටත් මෙසෙද පැවසුවාය.

මගේ අයියයි අක්කයිත් බොහොම අමාරුවෙන් ජිවත්වෙන්නේ. අයියගෙත් දැන් ඇස් පේනවා අඩුයි කිව්වා. අක්කා හරිම දුප්පත්.මගේ ඇස් දෙක උපතින්ම පෙන්නේ නෑ.ඒ වුණාට ගෙදර දොර වැඩ ටික කරගෙන තියෙන දෙයක් උයා පිහාගෙන අම්මත් එක්ක ජිවත් වෙනවා. මගේ ඇස් දෙක නොපෙනුනාට මගේ දුරකථනයට එන ඇමතුම් මට ගන්න පුළුවන්. ඒ වුණත් මගේ දුරකථනයෙන් තව කෙනෙකුට ගන්න අංක පෙන්නේ නෑ. අපිට මහත්යෝ මේ ගෙයි හිටියට කිසිම ආරක්ෂාවක් නෑ. ඉඩම අක්කර තුන්කාලක් තියෙනවා. මේක අරගෙනවත් කමක් නෑ අම්මටයි මටයි එක තැන ඉන්න පුළුවන් හොද වැඩිහිටි නිවාසයක් සොයා දෙන්න කවුරු හරි මැදිහත් වෙන්න. එලෙස ලියා තබන ලෙසට ඇය අපෙන් කාරුණිකව ඉල්ලීමක් කළාය.

(ආර් පි ලක්ෂිකා ශිරෝමිගේ දුරකථන අංකය 0719147049 ඔබට වැඩි විස්තර ලබා ගත හැකිය.)

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *