15දා සිට නැවතත් දුම්රිය වර්ජනයක්?

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම්, තාවකාලික හා කොන්ත්‍රාත් පදනමින් වසර හතරක පහක පමණ කාලයක් සේවය කරන සේවකයන් 1455කගේ සේවය ස්ථිර කිරීම, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය හකුළා ගැනීම හා දේශපාලන අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා දුම්රිය සේවයට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමේ තීරණය අහෝසි කිරීම යන වෘත්තීය ප්‍රශ්නවලට සති දෙකක් තුළ විසඳුම් ලබානොදුනහොත් මේ මස 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වර්ජන ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය රජයට අනතුරු හඟවයි.

කොළඹදී ඊයේ (01දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ එහි සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා මීට පෙර ප්‍රවාහන අමාත්‍ය ධුරය දැරූ කුමාර වෙල්ගම සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් විසින් බඳවා ගන්නා ලද මෙම පිරිසෙන් කොටසකට නියමිත අධ්‍යාපන සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් එම පිරිසගේ සේවය ස්ථිර නොකර වත්මන් ප්‍රවාහන අමාත්‍යවරයා අලුතෙන් ස්ථිර සේවකයන් 1500ක් බඳවා ගැනීමට කටයුතු කිරීම ජාතික අපරාධයක් බව සඳහන් කළේය.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර ඇත්තේ වෘත්තීය සමිති මර්දනය කිරීම නිසා බව පෙන්වාදුන් විතානගේ මහතා මේ නිසා සේවකයන්ට හෝ පවුලේ අයකුගේ හදිසි අසනීපයකටවත් නිවාඩු ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් එම ගැසට්පත වහා අවලංගු කරන ලෙස රජයට බල කරන බව ප්‍රකාශ කළේය.

තම ඉල්ලීම් පිළිබඳව රජය නොසලකා හරින්නේ නම් වෘත්තීය සමිති 32ක සහභාගිත්වයෙන් වර්ජන ක්‍රියාමාර්ගයකට පිවිසීමට සිදුවන බැවින් එවැනි තැනකට වෘත්තීය සමිති තල්ලුකර ජනතාව පීඩාවට පත් නොකරන ලෙසද හෙතෙම රජයෙන් ඉල්ලීමක් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *