ජනපතිගේ කිරිපිට කතාවට රාජිත පිළිතුරු දෙයි

කිරිපිටි සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් ඇත්නම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට හැකියාව තිබුණද, ජනාධිපතිවරයා එලෙස කටයුතු නොකළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

“කිරිපිටි දේශපාලන විෂයක් නොවෙයි. පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක්. රටට කිරිපිටි ආනයනය කරනවාද, නැද්ද යන්න පිළිබඳ වෙනම තීන්දුවක් ගත යුතුයි. මම ලෝක සෞඛ්‍ය සංවිධානයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සමග වාද කරලා මවුකිරි ලබාදීමේ යෝජනාව සම්මත කර ගත්තා.

මම කටින් කයිවාරු ගහලා නැහැ. මම වේදිකාවල සහ මාධ්‍ය හමුවල කයිවාරු ගහන දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා බහුජාතික සමාගම්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග රටට හෙළි කරන්න කියලා.

කිරිපිටි සම්බන්ධයෙන්ද මාධ්‍ය හමු සහ වේදිකාවල කෑගහලා වැඩක් නැහැ. ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය සියයට 10ක් වන අතර, සියයට 90ක්ම පිටිකිරි භාවිත කරනවා. කිරි යනු පෝෂණයට අදාළ කරුණක්. ඇතැම් අය ප්‍රකාශ කරනවා කිරි නොමැතිව ඉන්න පුළුවන් කියලා. පොහොසතුන්ට පුළුවන් වුණත්, ගමේ දුප්පත් මිනිහට එය අමාරුයි.

ජනාධිපතිවරයාට කිරිපිටි ප්‍රශ්නය පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කරන්න තිබුණා. එතුමා එලෙස කටයුතු කළේ නැහැ. කිරිපිටි ප්‍රශ්නය දේශපාලන වේදිකාවලදී භාවිත කරන්න එපා.” යැයි පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *