දරුවන් 17 දෙනකු බිහි කළ රංගිනාච්චිරේ අම්මා (Photos)

“වැලක ගෙඩි කොච්චර තිබුණත්, ඒ වැලට බර නැහැ” කියන ජන වහරේ තිබෙන අපූරු කියමන කොතරම් අපූරුවට ගැළපෙන්නේ ද යැයි පසක් කර ගන්නට හැකි වූයේ දරුවන් දාහත් දෙනෙකු මෙලොවට බිහි කළ අවුරුදු 112ක වයසේ පසුවන මවක සමග කතා කරන්නට අවස්ථාවක් ලැබීමෙන් පසුවය. “රංගිනාච්චිරේ” නමින් හඳුන්වන ඇය කුරුණෑගල, වැල්ලව බුදනාපිටිය ප්‍රදේශයේ තම සිව් වෙනි දියණිය වන උක්කු අම්මාගේ නිවසෙහි සිටිය දී අප සමග කතා බහ කරන්නට එක් වූවාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස්ගතම කාන්තාව සොයා ගිය අපිට “දිරිය කතට දිරිය මගක්” සංවිධානයේ සභාපතිනි කුරුණෑගල නාගරික මන්ත්‍රීනි විශාකා අබේසිංහ මහත්මිය ඇය පිළිබඳව තොරතුරු අනාවරණය කළා ය. ඇය කියා සිටින්නේ දැනට ලංකාවේම වයස් ගත කාන්තාව මැය විය හැකි බවය.

ගැහැනු දරුවන් දහයක් (10) සහ පිරිමි දරුවන් හත් දෙනෙකු (07) මෙලොවට බිහිකළ ඇය, තවමත් දරුවන් පිළිබඳව සිහි කරමින් කඳුළු සලන්නීය. ඊට හේතුව, තවමත් පිරිමි දරුවන් දෙදෙනෙකු කසාද නොබැඳ සිටීමත්, ඉන් එක් අයෙකු යම් රෝගයකින් පෙළීම නිසාත්ය. ඇය විටින් විට වාරියපොළ තම මහගෙදරට ගොස් ඔහුට කෑම උයා පිහා දෙන්නීය.

උප්පැන්න සහතිකයක්, හැඳුනුම්පතක් සහ උපන් වර්ෂයක් හරියටම නොදන්නා ඇය පිළිබඳව ඇගේ පවුලේ සාමාජිකයින් අප සමග කියා සිටියේ ඇයට අවුරුදු එකසිය දොළහක් පමණ වන බව ය.

මේ වන විට ඇගේ දරුවන් 17 දෙනාගෙන් පස් දෙනෙකුම මියගොස් ඇති බව කියන රංගිනාච්චිරේ මියගිය තම දරුවන් සිහිකරමින් කඳුළු සලන්නී ය. අප්පු නයිදේ සහ කිරා නාච්චිරේ යන මව්පියන්ට දාව උත්පත්තිය ලබන රංගිනාච්චිරේ වයස අවුරුදු දාසයේ දී කළුඅප්පු නයිදේ සමග යුග දිවියක් අරඹන්නේ වාරියපොළ ප්‍රදේශයේය.
දරුවන් හදා වඩා ගනිමින්, ඔවුන් පෝෂණය කරමින්, පාරම්පරිකව ඔවුන්ට උරුම කුඹල් කර්මාන්තය රැකගැනීම තමන් සතු වගකීමක් සහ යුතුකමක් සේ මහත් කොට ඔවුහු සැලකූහ. ඔවුන් පාරම්පරික කුඹල් කර්මාන්තයෙහි නිරත පරම්පරාවක් බවට සනාථ වූයේ, තවමත් ඇගේ දරුවන් වළං හදන බැවිනි.

ඇගේ ස්වාමිපුරුෂයා වන, කළුඅප්පු නයිදේ තම පවුල වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් කටයුතු කළ පුද්ගලයෙකු බවත්, රංගිනාච්චිරේ මෑණියන්ට දරුවන් බිහි කිරීමට සහ හදාවඩා ගැනීමට සුදුසු පරිසරයක් සකස් කිරීමට ඔහු මහත් කැපවීමකින් කටයුතු කළ පියෙකු බවත්, ඔවුන් ගේ වැඩිමහලු දරුවෝ අප සමග කියා සිටියහ.

අධ්‍යාපනය ලබන්නට එක දවසක්වත් පාසල් නොගිය රංගිනාච්චිරේ අම්මා දරුවන් බිහිකිරීම සහ හදාවඩා ගැනීම වෙනුවෙන්ම තම ජීවිතය කැප කළ අභීත කාන්තාවකි.

මුල් ම දරුවන් බිහිකිරීමට ඇය කිසිම රෝහලකට ඇතුළත්ව නැති අතර, ඒ සඳහා කාන්තාවක් නිවසට ආව ගිය බව රංගිනාච්චිරේ මව කීවාය. දරුවන් බිහි කරන දිනය ළඟා වූ පසු එම කාන්තාව නිවසෙහි නතරව සිටින බවට ද ඇය මතකය අවදි කළාය. දරුවන් බිහි කිරීමේ දී වැඩි වේදනාවකට ලක් නොවුණු බව ද දරුවා බිහි කළාට පසුව මිරිස් හොද්දක් පානය කළ බව ඇය සඳහන් කළාය.

දරුවන් බිහිකිරීම​ට සහ හදා වඩා ගැනීමට මුල් තැනක් දුන් ඇය, සෑමවිටම ආගමික දේට නැඹුරුව කටයුතු කළාය. එක දිගටම වසර 50ක් සිල් සමාදන්ව ඇති ඇය විනාඩි පහළොවක් පමණ කාලයක් ගාථා සජ්ඣායනා කළා ය. ඇය කියා සිටියේ මතක තියෙන කාලෙක සිට මස් මාළු කිසිවක් ආහාරයට ගෙන නැති බවය. නමුත් දරුවන් කුඩා කාලයේ දී සෑම දිනයක ම තම ස්වාමියා විසින් වැව් මාළු රැගෙන ආ බව ඇය සඳහන් කළා ය.

ඇය මෙලොවට බිහිකළ දරුවන් 17න් අද වන විට ගැහැනු දරුවෝ 08ක් සහ පිරිමි දරුවෝ 4ක් ජීවතුන් අතර සිටිති.

ඔවුන් අතර, වැඩිමහල් දරුවා රවියෙල් ය. දෙවෙනි දියණිය මියගොස්ය. තෙවැන්නා ඩිංගිරි අම්මා (90), උක්කුඅම්මා (85), පොඩි අම්මා, මැණික්හාමි, සිලිහාමි, සිරිනේරිස් අබේරත්න, නෝනා, චුට්ටා ජීවතුන් අතර සිටිති දරුවන් කීපදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන්ගේ නම් නැවත උපන් දරුවන්ට තබා ඇත. ඊට පසුව උපන් ඩිංගිරි අම්මා, උක්කුඅම්මා ජීවතුන් අතර සිටින වැඩිමල්ම දරුවන් ය. ඔවුහු වයස අවුරුදු අට, නවය, වැනි කුඩාකල පටන් කුඹල් කර්මාන්තයේ නිරතව සිටිති. අදටත් වළං හදන මේ දූවරු තම මව පිළිබඳව මෙසේ කියති.

ඩිංගිරි අම්මා (90) : මට දැන් අවුරුදු 90. ගෙදර ගොඩාක් වැඩ පැවරුණේ මට. මම පුංචි කාලෙ ඉඳලම තමයි වැඩ කරන්න ගත්තෙ. මට බාල නංගිලා මල්ලිලා බලාගත්තෙත් මම. ඒ දවස්වල අපේ තාත්තා අපිට වැඩ පැවරුවා. අද මම හැමෝටම ඉව්වොත්, හෙට මම ළමයි බලාගන්න ඕනැ. අනිද්දා වළං හදන්න ඕනැ. ඉතින් මට ඉස්කෝලෙ යන්ඩ බැරි වුණා. අම්මා ඉස්පිරිතාලේ බබාලා හම්බවෙන්න ගියාම ගෙදර ඉව්වෙ මම. නංගිලා මල්ලිලා බලාගත්තෙත් මම. අම්මාව ඉස්පිරිතාලෙ ඉඳන් එක්ක එන්න යන්නෙත් මම. අම්මාට ආවතේව කළා. බබාලා නෑවීමත් කළා. හැමෝම ඉද්දි ලොකු අපි හැමදාම ගෙදර වැඩ කරන අතරතුර වළං හැදීමත් දිගටම කළා. ඉස්සර වළං කරත්තයක් අරගෙන ගියාම සතියකට සැරයක් රුපියල් හැටක් තාත්තා අරගෙන එනවා. ඒක අපි හැමෝටම කන්න ජීවත් වෙන්න ඇති.

අපි පවුලේ පිරිස දහයක් දොළහක් විතර වෙනකොට ලොකු පිරිසකට උයන්ඩ සිද්ධ වුණා. ඒ සඳහා අපේ තාත්තා ලොකු වළඳක් එයාගේ අතින්ම හැදුවා. ඒකෙ හාල් සේරු පහක් විතර උයන්න පුළුවන්. තාත්තා හැම වෙලේම කිව්වේ ගැහැනු දරුවන්ට හොඳට කන්න දෙන්න ඕනෑ කියලා. ඒනිසා හොඳට කෑම බීම අපිට ගෙනත් දුන්නා වත්තෙ පිටියෙන් මොනවත් හොයලා උයනවාට තාත්තා කැමැති නෑ.

ඒ වුණාට අපේ අම්මා වෑංජන ලොකුවට හදන්න ඕනෑ හින්දා කෙසෙල්බොඩ නියඹලාව හදනවා. ඒක හොඳට අම්මා හැදුවා. අම්මා වැඩපළ කළේ නෑ. ළමයි බලනවා හැර වෙනත් වේලාවක් තිබුණා නම්, වැඩි පුර කාලයක් අම්මා හිටියෙ ඉස්පිරිතාලේ. කලින් ගිහින් සතියක්, දෙකක් ඉන්නවා. ඉතින් අපි තමයි වැඩ කළේ.

උක්කු අම්මා (85) : අම්මා මගේ ළඟ තමයි දැන් ඉන්නේ. මම තමයි අම්මට ආවතේව කරන්නේ. ඒ වුණාට උදෙන්ම නැගිටලා, තවමත් තනියම මූණ හෝදලා, කොණ්ඩය පීරලා ඉඳගෙන ඉන්නවා මම කිරි එක දෙනකම්.

ඉස්සර අපි පුංචි කාලෙත් අපේ අම්මා වැඩ කළේ නෑ. අපේ තාත්තා තමයි හැම දේම කළේ. උයන දේ හොයලා බැලුවා. අපවත් එකතු කරගෙන වළං හැදුවා. කොහොම හරි අම්මා කොණ්ඩ කැවුම් නම් හැදුවා. ඒක විතරයි අම්මට පුළුවන්. අම්මට කෑම ජාති හදන්න වෙලාවක් තිබුණේ නැහැ. මම ඉස්කෝලෙ ගියේ හෝඩියේ පංතියට විතරයි. නංගිලා මල්ලිලා බලාගෙන, ගෙදර වැඩ කරගෙන හිටියා. අවුරුදු 10 ඉඳන් මම තාම වළං හදනවා.

රංගිනාච්චිරේ අම්මාගේ තවත් දියණියන් දෙදෙනකු පුත්තලමේ ජීවත් වන බව ද ඇය කීවාය. අපි පොඩිඅම්මා නම් එක් දියණියක් සමග කතා කළෙමු.

අපෙ අක්කලා කසාද බැන්දෙ අවුරුදු 15න් 16න්. ඉතින් හොඳම සිද්ධිය තමයි අක්කලා දෙන්නටයි, අම්මටයි එක වර ළමයි ලැබෙන්න ඉස්පිරිතාලෙ හිටියා. ලොකු අක්කටයි, අම්මාටයි, එකම දවසෙ ළමයි හම්බ වුණා. මට මතකයි අපේ අක්කලා දෙන්නා අපි බලාගත්තා. ඇය කීවාය. යහපත් කල් ක්‍රියාව, සරල පැවැත්ම, දරුවන් වෙනුවෙන් ඇය කළ කැප කිරීම අද සමාජයට ආදර්ශයක් සපයයි. ලෝක කාන්තා දිනය නිමිත්තෙන් ඇයට නිරෝගි සුව පතමු.

ranginachchire-amma

ranginachchire-amma

– චාන්දනී දිසානායක –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *