ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටියි – ජනපති රනිල්

ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික අර්බුදය අත්විඳිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම තත්වය හමුවේ ඇණහිට තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන සාකච්ඡා දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමෙන් පසු අවසන් කිරීමට හැකිවන බවද ජනාධිපතිතුමා සදහන් කර ඇත්තේ අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී සඳහන් කර ඇත්තේ දැනටමත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පහළම මට්ටමට පැමිණ ඇති බවත්, ආර්ථිකය යාථා තත්වටය ගෙන ඒමට හැකිවූවද එම ඉලක්කයට ලගා වන වේගය මත සියල්ල රඳා පවතින බවයි.

ඉහළ උද්ධමනය, ඉන්ධන හා ගෑස් සඳහා පවතින පෝලිම් තවත් මාස කිහිපයක් ශ්‍රී ලාකිංකයින්ට අත්විඳීමට සිදු විය හැකි අතර ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය කැපී පෙනෙන ලෙස දියුණු විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා අගෝස්තු මස අවසානයේ දී එකඟතාවයකට එළඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවද ඔහු පවසයි. ඒ සඳහා ස්වෛරී බැඳුම්කර හිමියන් සහ ද්වීපාර්ශවික ණය හිමියන් අතර තවදුරටත් සාකච්ඡා සිදු කළ යුතු බවයි ඒ මහතා පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා දීමට නම් ප්‍රාථමික මට්ටමේ එකඟතාවයන් සඳහා එම අරමුදලේ අනුමැතිය හිමි වියයුතු අතර ඊට මාස කිහිපයක කාලයක් ගත වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන් ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දිවයිනට පැමිණීමට හොඳම අවස්ථාව මෙය නොවන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ ආගමනය හරහා යළිත් වරක් දේශපාලනික අර්බුදයක් ඇති විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published.