“එජාපයට බෑ..හැකියාවක් නෑ.. පිළිගන්න කැමති නෑ ” – ඇමති රන්ජන්

එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුවට කොකේන් භාවිත කරන මැති ඇමතිවරන් සිටින බවට තමන් කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.

තමා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ලබාදෙන වාර්තා පිළිගැනීමට සූදානම් නොමැති බවයි මාධ්‍ය වෙත ඔහු සඳහන් කර ඇත්තේ.

රන්ජන් රාමනායක මහතා කළ මෙම ප්‍රකාශය පිළිබඳ සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය කමිටුවක් පත්කළ අතර, එහි සභාපතිවරයා ලෙස අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කටයුතු කළා.

සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ආශු මාරසිංහ හා නීතිඥ මහේෂ් කළුගම්පිටිය යන මහත්වරුයි.

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත්, ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය පත්කළ කමිටුව සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යරන්ජන් රාමනායක මහතා,

“මේ චෝදනා විභාග කරන එක එක්සත් ජාතික පක්ෂයට හෝ කමිටුවලට බෑ. මේ චෝදනා විභාග කළ යුතු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අන්තරායකර ඔෂධ පාලක මණ්ඩලය විසිනුයි. ඒ ආයතන තුළ තමයි මේ වගේ චෝදනාවක් විභාග කිරීමට පහසුකම් හා දැනුම තිබෙන්නේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලයට වාර්තාවක් ආවම ඒ වාර්තාවත් යොමුකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටනේ. ඒ වාර්තාව ලැබෙන තෙක් අපි ඉමු.

එක්සත් ජාතික පක්ෂයේ කමිටු වාර්තාවේ තිබෙන්නේ මම කියන දේ ගැන ඒ කමිටුවේ අය දරණ මතයයි. පක්ෂයක් වශයෙනුයි ඒ තීරණය ගත්තේ. එය විවේචනය කරන්නේ නෑ.

මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන දැනුම් දී තිබෙනවා. ඔවුන් මට ඉදිරියේදී කැඳවීමක් කරාවි. මම කටඋත්තරයක් දෙනවා වාචිකව. මගේ අභියෝගය තමයි පුළුවන් නම් මම කිව්ව ටෙස්ට් එක (Drug abuse screening profile) කරන්න. ඒක දැනට මමයි, බුද්ධිකයි (නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ) විතරයි කරලා තියෙන්නේ. ඒ ටෙස්ට් එකෙන් පාස් වෙන්න. ඒක අරගෙන අපි තීරණය කරමු. එක එක්කෙනා මම ගැන දෙන වාර්තා පිළිගන්න කැමති නෑ. ඒවා මට වැඩක් නෑ.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *