රන්ජන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙයි අසුන අජිත් මාන්නප්පෙරුමට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 04ක සිරදඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය හිස්ව පවතින බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව එම පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පත් කිරීමට නියමිතයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායකට වසර 4ක සිරදඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි 12 වනදායි.

ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව නීතිපතිවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබුණා.

පසුව රන්ජන් රාමනායක සිය දඬුවම යලි සලකා බලන ලෙස ඉල්ලමින් නීතිඥයින් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කළද ශ්‍රේෂ්ඨාධිකරණය එය ද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ අතර සිර දඬුවම් නියම වූ තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැලැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා.

එහි තීන්දුව පෙරේදා ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය තීරණය කළේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි.

2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 04ක් හිමි වුණා.

රන්ජන් රාමනායක ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේ මනාප ලැයිස්තුවේ දෙවනුවට මනාප ලබාගෙනයි.

කෙසේ වෙතත් රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ගම්පහ දිස්ත්‍රික් සමඟි ජන බලවේග ලයිස්තුවේ 05 වන ස්ථානයට වැඩිම මනාප ලබාගෙන සිටින අජිත් මාන්නප්පෙරුම පත්වීමට නියමිතයි. එහිදී ඔහු මනාප ජන්ද 47,212ක් ලබා ගත්තා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *