රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කළේ දේශපාලන කොන්ත්‍රාත්තුවකටද?

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනය කිරීම කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවටත්, එම සිදුවීම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධනගේ අනුදැනුම මත සිදුවී ඇති බවටත් සැක මතුවී ඇති නිසා රවි විජේගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

රත්ගම මාළු හා කුකුළු ව්‍යාපාරිකයන් දෙදෙනකු වන මංජුල අසේල (33) හා රශීන් චින්තක (31) පසුගිය ජනවාරි 23 වැනි දින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් පහර දී ඝාතනය කර වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයක පුළුස්සා දමා ඇති බව මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයේදී හෙළි කරගෙන ඇත.

ඊට සම්බන්ධ එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හා තවත් උප පොලිස් පරීක්ෂකයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊට අමතරව එම ඒකකයේ සිටි පොලිස් නිලධාරීන් 15 දෙනකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් ඉන් 6 දෙනකු අතුරුදන් වී තිබේ.

කෙසේ වෙතත් එම ඒකකයේ ප්‍රධානියා වන දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධනගෙන් ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නොමැත. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මේ වනවිට පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබියදී ගාලලේ සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර ඇත්තේ මංජුල හා රශීන් සම්බන්ධයෙන් අපරාධ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසයි.

මේ අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට එම විශේෂ ඒකකයේ නිලධාරීන් ගොස් ඇත්තේ රාජකාරි පොත්වල බැහැරවීමේ සටහන් යොදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම මතය.

මෙසේ ඝාතනයට ලක්ව ඇති මංජුල පුත්තලම, ආනමඩුවේ සංගට්ටිකුලමේ පදිංචි ස්ටැන්ලි ජෝසෆ් නමැති කොතලහිඹුටු අපනයනය කරන ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීමේ සිද්ධියටද සම්බන්ධ සැකකරුවකු බවට හෙළිව ඇත. ව්‍යාපාරික නිවසේ සිටියදී 2010 දෙසැම්බර් 10 වැනි දින රාත්‍රී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබිණ.

ඔවුන් රැගෙන ආ යුද හමුදාවේ ඇඳුම් හා සපත්තු මුන්දලම, අඟුණවිල දේවාල හන්දියේ සියඹලන්ගමුව වැවේ සඟවා තිබියදී සොයාගත් අතර, එහි තිබූ සපත්තුවල අංක ඔස්සේ කරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මංජුල ඇතුළු හමුදාවේ සාමාජිකයන් ඊට සම්බන්ධ අතර, මෙම ඝාතනය බස්නාහිර පළාතේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී තුෂාර පෙරේරාගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවයි.

තුෂාර පෙරේරා සමග ස්ටැන්ලි පෙරේරා කොතලහිඹුටු ජපානයට පැටවීමේ ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර, පසුව ස්ටැන්ලි තනිවම එම ව්‍යාපාරය සිදු කරගෙන ගොස් ඇත. එම ව්‍යාපාරිකයා ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිය මේ වන විට පුත්තලම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු සමග විවාහ වී සිටී.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී වයඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද රවි විජේගුණවර්ධන කටයුතු කර ඇති අතර, එම සිදුවීම අතර යම් සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *