රත්නපුර ප්‍රදේශයේ මැණික් හිඟයක් ඇතිව තිබෙන බව රත්නපුර ඔරලෝසු කණුව අසල මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජගත් විජේවීර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ ඉස්තරම් නිල් මැණික් වැඩිපුරම හමුවන්නේ පැල්මඬුල්ලේ පාතකඩ, රක්වානේ රඹුක සහ කහවත්තේ නීලගම යන ප්‍රදේශවලින් වුවද දැන් නිල් මැණික්ද හිඟ බවයි.
‘‘මේ දවස්වල මැණික් මිල නම් හොඳයි. නිල් කැරට් එකක් (කිලෝ ග්‍රෑමයකට කැරට් 5000කි) රුපියල් පනස්දාහකට ලක්ෂෙකට විතර යනවා. ඒත් දැන් රත්නපුරේට මැණික් එන්නේ බොහෝම අඩුවෙන්. දැන් මැණික් හිඟයි.’’
මැණික් ඉල්ලම් සහිත අලුත් භූමි හඳුනා නොගැනීම, පතල් කැපීම සඳහා අධික වියදමක් දරන්නට සිදුවීම සහ මෙතෙක් දැන හඳුනා ගෙන සිටි මැණික් ඉඩම්වල පතල් කපා ඉල්ලම් හමාර වීම සහ පාරිසරික නීති නිසා මැණික් පතල් කැපීම් සීමාවීම ආදිය ඒ සඳහා බලපෑ බවයි රත්නපුර මැණික් ව්‍යාපාරිකයන් පවසන්නේ.
මහා පරිමාණ ව්‍යාපාරිකයකුගේ පතල්වල මැණික් විවෘත වෙළෙඳපොළට එන්නේ නැති අතර ගංගා – ඇළ දොළවල මැණික් ගැරීම්ද දැඩි පාලනයකට යටත් කර තිබෙනවා.
එම තත්ත්වය නිසා මැණික් ගල් විවෘත වෙළෙඳපොළට යොමුවීම අතිශයින්ම අවම වී ඇති බවයි වාර්තා වන්නේ.
‘‘මේ දවස්වල කළු ගඟ බැහැලා. ඉස්සර නම් මිනිස්සු ඇළ දොළ ගංගාවල සාම්ප්‍රදායික විදියට මැණික් ගැරුවා. දැන් ඒවාට තහංචි වැටිලා. සිංහල අලුත් අවුරුද්දත් ළඟම එනවා. වෙනදා මිනිස්සු අලුත් අවුරුද්ද කන්න කීයක් හරි සොයා ගත්තේ ගඟේ, ඇළේ දොළේ මැණික් ගරලයි. දැන් ඒවා තහනම් කරලා. ගංගා, ඇළ දොළවල පාරම්පරික විදිහට මැණික් ගරන්න තහනමක් නෑ කියලයි ආණ්ඩුවත් කියන්නේ. ඒත් මිනිහෙක් ඇදුම්, උදැල්ලක්, මැණික් ගැරුම් වට්ටියක් අරන් ඇළකට දොළකට බැස්සොත් පොලිසිය ඇවිල්ලා අල්ලා ගෙන යනවා.” යනුවෙන් මැණික් ව්‍යාපාරිකයන් පවසනවා.