දෙවැනි ප්‍රහාරය ගැන රොයිටර් වාර්තාව මෙන්න

පාස්කු ඉරිදා ප්‍රහාරය ක්‍රියාත්මක කළ පිරිස දෙවැනි ප්‍රහාරයට සූදානම් වන බවට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී ඇති බව එහි සඳහන්.

”තවත් ප්‍රහාර මාලාවක් ඇතිවෙන්න පුළුවන්”යයි ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂකවරයා විසින් අමාත්‍යවරුන්ට මෙන්ම අරක්‍ෂක අංශ වල සෙසු සාමාජිකයන්ට යවන ලද ලිපියක සඳහන් වන අතර එම ලිපිය රොයිටර් පුවත් සේවය සතුව ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

”මීට අදාළ තොරතුරු වලින් දැනගන්නට ඇත්තේ මෙම ප්‍රහාරයට සම්බන්ධ විය හැකි අය හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිටිය හැකි අතරම වෑන් රථයක් ඒ සඳහා යොදාගත හැකි බවයි” යයිද ලිපියේ සටහන් වනවා.

රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ආරක්‍ෂක අංශ වෙතින් තමන්ට එවන් දැනුම් දීමක් කර ඇතැයි කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මෙන්ම විපක්‍ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද තහවුරු කර තිබෙනවා.

”ඇමති ආරක්‍ෂක අංශය විසින් අපට ඒ ගැන දන්වා තිබෙනවා” යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබෙනවා.

ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා විසින් යවන ලද ලිපියට අනුව ඉරිදා හෝ සඳුදා මෙම ප්‍රහාර ක්‍රියාත්මක කළ හැකිය. ඒ සඳහා ස්ථාන 5 ක් තෝරාගනු ලැබ ඇති අතර එකක් මඩකලපුව බව කියැවෙනවා.

අනෙක් ස්ථාන සම්බන්ධයෙන් සඳහනක් නැත.

කෙසේ වෙතත් ඉරිදා දිනය වූ ඊයේ (28 වැනිදා) කිසිදු ප්‍රහාරයක් ක්‍රියාත්මක නොවුණු අතර ශ්‍රී ලංකාව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් සිටින බවයි රොයිටර් පුවත් සේවයේ දැක්වෙන්නේ.

ආරක්‍ෂක අංශ වල සැකයට පාත්‍ර වී සිටින්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය හෝ ජමියතුල් මිල්ලතු ඊබ‍්‍රහිම් කණ්ඩායම් විසින් මෙම ප්‍රහාර ක්‍රියාත්මක කළ හැකි බවයි.

කලින් පැවැති ප්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍යය (අයිසිස්) විසින් බාරගනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *