හාල් මාෆියාවෙ මොළකාරයො දෙන්නා ජනාධිපති ඉදිරියට ගෙන්වයි – කරන්නේ අපරාධ වරදක් !

සහල් මාෆියාවේ මොළකරුවන් වන්නේ ඩඞ්ලි සිරිසේන සහ සිරිපාල ගම්ලත් බව මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා ඔවුන්ව ගෙන්වනු ලැබූ බවයි.

ඔවුන්ගේ සහල් ගබඩා වැටලිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පහත පරිදි කරුණු අනාවරණය කළා.

“උගුරට හොරා බෙහෙත් කන්න බැහැනේ. පසුගිය කාලෙ මම ඕවා එළිකරද්දී මාව මරන්න හැදුවා. මගේ දේපොළ ගිනිතිබ්බා. මගේ චරිතය ඝාතනය කළා. පොලිසිය බලාගෙන ඉඳිද්දී මඩ පෝස්ටර් ගැහුවා. මේවා පිටිපස්සේ හිටියේ හාල් මාෆියාවෙ මහමොළකාරයො. ප්‍රධාන මෝල් පහක්, හයක් තිබ්බට ඉස්සරහින්ම ඉන්නෙ දෙන්නයි. ඒ ඩඞ්ලි සිරිසේනයි, සිරිපාල ගම්ලතුයි.

මේ හාල් ප්‍රශ්නෙ ආවාම ජනාධිපතිතුමා මේ දෙන්නව ගෙන්නලා කිව්වා. වහාම හාල් මිල පහත දාන්න කටයුතු කරන්න කියලා. මේ හාල් මිල ඉහළ දැමීම තනිකරම මාෆියා වැඩක්. දණ්ඩ නීති සංග්‍රහයට අනුව ආහාර සැඟවීම අපරාධ වරදක්. මේකට අපි වැඩපිළිවෙළක් ගේන්න ඕන. ප්‍රධාන හාල් මෝල් වටලන්න ඕන. වී තොග හංගගෙන ඉන්න අය ගැන ක්‍රියාත්මක වෙන්න ඕන. මේ අය කරන්නෙ අස්වාභාවික ලෙස කෘත්‍රිම ලෙස මිල ඉහළ දාලා ආණ්ඩුව අපහසුතාවට පත්කරන එක. යහපාලන ආණ්ඩුවෙන් මේ මාෆියාව නතර කළේ නැහැ. මේ හාල් මාෆියාකාරයන් රකින්න ඕන නිස. ඒ අය කවදාවත් පාලන මිලක් දැම්මෙ නැහැ.

දැන් කීරි සම්බා 170යි. හැබැයි ඒ අය ගත්තේ රුපියල් 52ට. මම කිව්වේ කීරි සම්බාවලටත් 125ක පාලන මිලක් දාමු කියලයි. වී කිලෝ 100කින් හාල් කිලෝ 60ක් හදන්න පුළුවන්. කීරි සම්බා වී කිලෝ 100කින් හාල් කිලෝ 50ක් හදන්න පුළුවන්. මේවයේ අමතර නිෂ්පාදනත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා අපි වහාම මැදිහත්වෙලා මේ හාල් මාෆියාව නවත්තලා ආණ්ඩුවයි, පාරිභෝගිකයයි දෙකම ආරක්‍ෂා කරගන්න වැඩපිළිවෙළකට යන්න සූදානමිනුයි ඉන්නෙ. මේ වී මාෆියාකාරයො කෝටි ප්‍රකෝටිපතියො වුණේ ඇලඩින්ගේ පුදුම පහනින් නෙවෙයි. ගොවියො ටික හූරා කාලා ඒ අයව හිඟන්නො කරලා.

අපි ගිය සතියෙත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙ කතා කළා. නැවැත වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කරලා සහතික මිලට සියලු වී රජයෙන් ගන්න අපි සැලසුම කරමිනුයි ඉන්නෙ. ඒ මුදල ගොවි ජනතාව වෙනුවෙන් බැංකුවල තැන්පත් කරලා අවශ්‍ය වෙලාවට ගොවීන්ට නිකුත් කරන්න යෝජනාවක් ඇවිත් තියෙනවා. මේකට ‘සයිලෝ’ ක්‍රමය කියලයි කියන්නේ. ජනාධිපතිතුමාත් මේ ගැන අදහස් දැක්වීමක් කළා. ඒක නම් වී මෝල්කාරයන්ට කොටන්න විතරක් දීලා කෙටුම් කුලියක් දෙනවා. එතකොට වී මාෆියාවක් නැහැ. මේ රටේ සෑම පවුල් 8කටම එක ගොවි පවුලක් ඉන්නවා. ලක්‍ෂ 30ක් ගොවි පවුල්. ඉතින් අපිට වී මෝල්කාරයන් දෙන්නෙක්, තුන්දෙනෙක්ව රකින්න ඕන නැහැ.”

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.