පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුගේ තිප්පොළේ සිට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ප්‍රධාන සැකකරු සහ්රාන් හසීම් ය. සහ්රාන් හසීම් ට සොහොයුරියන් දෙදෙනකි. සොහොයුරන් දෙදෙනකි. පසුගිය අප්‍රේල් 18 වැනිදා සිට සහ්රාන්ගේ මාපියන්, සොයුරන් දෙදෙනා සහ එක් සොහොයුරියක අතුරුදන්ව ඇතැයි පැවැසෙයි. මේ බව අනාවරණය කළේ සහ්රාන්ගේ ඉතිරි සොහොයුරියයි.

‘මම අම්මයි තාත්තටයි මගේ සොහොයුරියගේ පවුලේ අයටත් කෑම අරන් ගියා පසුගිය අප්‍රේල් 18 වැනිදා. ඒත් ඊට පස්සේ ඔවුන්ගෙන් කිසිම තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ.’ යැයි මොහොමද් හසීම් මදානියා අදහස් දක්වා සිටියේ කාන්තන්කුඩි නගරයේ ‘ජාතික තව්හීද් ජමාත්’ පල්ලිය අසල පිහිටි සිය නිවසේ සිටය. දක්ෂ කථිකයකු සහ ආදරබර සොහොයුරෙකු වූ තම සොහොයුරු සහ්රාන් හසීම් මූලධර්මවාදී සහ අන්තවාදී මාවතකට යොමු වී තමන් ඔහුගෙන් ඈත් වුණු ආකාරයත්, ‘ජාතික තව්හීද් ජමාත්’ පල්ලිය සහ්රාන් හසීම්ගෙන් ඈත් වුණ ආකාරයත් මෙසේ අනාවරණය විය.

හසීම් පවුලේ දරුවන් ගණන පහකි. 33 හැවිරිදි සහ්රාන් හසීම් වැඩිමලා ය. ඔහු විවාහ වී සිටින්නේ මොහොමද් හාදියා සමඟය. ඇගේ වයස අවුරුදු 23 කි. මැය කුරුණෑගල කැකුණුවෙල පදිංචිකාරියකි. මොවුන්ට අවුරුදු 8 ක් වයසැති පුතෙක් සහ අවුරුදු 4 ක් වයසැති දියණියක් සිටිති. සහරාන් හසීම්ගේ එක් සොහොයුරකු වන්නේ මොහොමද් සෙයින් හසීම්ය. 30 හැවිරිදි මොහු විවාහ වී සිටින්නේ 23 හැවිරිදි අබ්දුල් ගෆූර් අෆ්රින් සමඟය. මොවුන්ට අවුරුදු පහක පුතෙක් සහ අවුරුදු 3 ක දියණියකි. අනෙක් සොහොයුරා 28 හැවිරිදි මොහොමද් රිල්වාන් හසීම්ය. විවාහ වී සිටින්නේ, 20 හැවිරිදි නෆ්හා සමඟය. මොවුහු අවුරුදු පහක් වයසැති සහ මාස 6 ක දරු දෙදෙනෙක් මොවුන්ට සිටිති.

ඉතිරි සොහොයුරිය මොහොමද් යසීරා හසීම් ය. ඇයගේ වයස අවුරුදු 20 කි. විවාහ වී සිටින්නේ 22 හැවිරිදි මොහොමද් රිෂාද් නමැත්තා සමඟය. මොවුන්ට වසරක් වයසැති පිරිමි දරුවෙක් සිටී. මේ සියල්ලන්ම කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර අතුරුදන්ය. ‘මම දන්නේ නැහැ ඔවුන් කොහෙද කියලා. 18 වැනිදායින් පස්සේ, ඔවුන්ගෙන් කිසිම ආරංචියක් නැහැ.’ ඇය අප සමඟ අදහස් දක්වමින් කියා සිටියාය. සහ්රාන් හසීම්, ඔහුගේ සොහොයුරන් දෙදෙනාත්, සොහොයුරියත්, මොවුන්ගේ මාපියන් වන හයාත් මොහොමද් හසීම් (55) සහ අබ්දුල් කාදර් සමීමා (50) ද අතුරුදන්ය.

‘2017 වසරේ මුලදී තමයි එයා (සහරාන් හසීම්) අන්තවාදී අදහස් සම්බන්ධයෙන් දේශනා පැවැත්වීම ආරම්භ කළේ. ලෝකය මුස්ලිම්වරුන් සඳහා පමණක් බවත් කියමින් අනෙක් ආගම්වලට ඉඩක් නැති බවත්, ඒවාට එරෙහි විය යුතු බවත් එයා දේශනා පැවැත්තුවා’ යැයි මොහොමද් හසීම් මදානියා පැහැදිලි කරයි. ‘මගේ සොහොයුරාගේ දේශනා මගේ සැමියාට රුස්සන්න වූයේ නැහැ. ඒ නිසාම, ඔහු සහ අපේ සම්බන්ධය නවත්වන්න මගේ සැමියා තීරණය කළා. ඒ තරහට නොවෙයි, අපි ඔහුගේ අදහස්වලට විරුද්ධ වූණ නිසා අප ඒක අනුමත කළේ නැහැ. එපමණයි.’ යැයි තෙදරු මවක වන මොහොමද් හසීම් මදානියා වැඩිදුරටත් පවසා ඇත.

2017 මාර්තු 10 වැනිදා, සහ්රාන් හසීම්ගේ නව නිකායට සහ පල්ලියට සම්බන්ධ අනුගාමිකයන් සහ මධ්‍යස්ථ මතධාරී සූෆි මුස්ලිම් කණ්ඩායම් අතර ගැටුමක් නිර්මාණය විය. එම ගැටුම අවසන් වූයේ සහ්රාන් හසීම්ගේ ‘අතුරුදන්’ වීමත් සමඟය. ‘ගැටුමින් පස්සේ අපට ඔහුගෙන් ආරංචියක් ලැබුණේ නැහැ. සහ්රාන් විතරක් නොවේ, සොහොයුරු රිල්වාන් ගැනත් ආරංචියක් නැහැ. අප අතරේ පැවැති සම්බන්ධය බිඳ වැටුණා.’ යැයි ‘ජාතික තව්හීද් ජමාත්’ වත්මන් ප්‍රධානියා ලෙස කටයුතු කරන මවුලාවි තවුෆීක් (33) අදහස් දක්වමින් පවසා ඇත.

සහ්රාන් හසීම්, සිය නිකාය පිහිටුවා ගනිමින්, අනුගාමිකයන් ද පිරිවරාගෙන ජාතික තව්හීද් ජමාත් කණ්ඩායම ආරම්භ කළේ 2011 දී පමණ යැයි පැවැසෙයි. ඒ, කාන්තන්කුඩි නගරයේය. කාත්තන්කුඩි මුස්ලිම් බහුතරයක් වෙසෙන කුඩා භූමි ප්‍රදේශයකි. මෙහි මුස්ලිම් පල්ලි 63 කි. එයින් මුස්ලිම් පල්ලි 8 ක්, එම පල්ලි හරහා විවෘතව මූලධර්මවාදී අදහස් පිළිපඳින බවත්, තවත් පල්ලි 3 ක් එකිනෙකට වෙනස් වහාබි දර්ශනය ප්‍රචලිත කරන බවත් බද්රියා මුස්ලිම් පල්ලියේ එච්.එම්. අමීර් පෙන්වා දෙයි. ජමියාතුල් උලමා සංවිධානය ද වහාබි දර්ශනය ප්‍රචලිත කිරීමෙහිලා සහාය දක්වන මුස්ලිම් සංවිධානයකි.

මත ගැටුම් හේතුවෙන්, සූෆි දර්ශනය අනුගමනය කරන, බද්රියා පල්ලියේ අනුගාමිකයන් සහ සහරාන් හසීම් නිකාගේ අනුගාමිකයන් අතරේ ගැටුමක් නිර්මාණය විය. මෙය අවි ගැටුමක් තෙක් දුරදිග ගියේය. ඒ, 2017 වසරේ මාර්තු 10 වැනිදාය. අවි ගැටුම හටගත් අවස්ථාවේදී, විශේෂ හමුවක් පැවැත්වීමටත් එහිදී සහ්රාන් විශේෂ කතාවක් පැවැත්වීමටත් සූදානම් විය. කෙසේ නමුත් එම අවස්ථාවේ ඇත්තටම සිදුවූයේ කුමක්දැයි නිවැරදි තොරතුරක් නැත.

සහරාන්ගේ ‘ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සාමාජිකයන් නව දෙනකු සහ බද්රියා පල්ලියේ දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් පිරිස අතර සහ්රාන්ගේ සොහොයුරා සෙයින් ද සිටියේය. සැකකරුවන් මාස 7 ක් පුරාවට රිමාන්ඞ් භාරයේ රඳවා තැබුණු බව අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු වන මොහොමද් රිෆාස් (32) පවසා ඇත. පල්ලිය මහල් දෙකකින් සමන්විත අතර, දෙවැනි මහල තවමත් ඉදිකර අවසන් නැත. එම පල්ලියේ සිට අදහස් දක්වමින්, රිෆාස් කියා සිටියේ, සහ්රාන් ‘අතුරුදන් වූයේ’ පොලිසිය ඔහු සොයා පැමිණි අවස්ථාවේදී කියාය.

‘2017 ජූනි මාසයේ ඔහු ෆේස්බුක් හරහා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරන තුරු ඔහු ඉන්නේ කොහෙද, කරන්නේ මොකක්ද අප දැන සිටියේ නැහැ.’ යැයි ජාතික තව්හීද් ජමාත් සාමාජිකයන් අදහස් දක්වමින් පවසා තිබේ. ‘ඔහුගේ එම වීඩියෝ ප්‍රකාශ දැක්කට පස්සේ, අපි මුළුමනින්ම ඔහු සමඟ සම්බන්ධකම් අත්හැර දැම්මා.’ යැයි ජාතික තව්හීද් ජමාත් සාමාජිකයන් කියා සිටියේ, සහ්රාන් හසීම් පල්ලියෙන් නෙරපා දැමීමට ඔවුන්ගේ පල්ලිය පියවර ගත් බව දැක්වෙන ලිපියක් ද පෙන්වමිනි.

සහ්රාන් හසීම්ගේ පල්ලිය කුඩා එකක් බවටත් අප එය නොසලකා හැරිය බවටත් පළ වන වාර්තා අසත්‍යයක් යැයි බද්රියා පල්ලියේ අමීන් පැහැදිලි කරයි. සති 6 කට කලින්, සහ්රාන් ඔහුගේ පල්ලියට පැමිණි බව ද අමීන් වැඩිදුරටත් කියා සිටී. සහරාන් සහ ඔහුගේ අන්තවාදී මතවාද සම්බන්ධයෙන් විස්තර ඇතුළත් ලිපිගොනු ආරක්ෂක ලේකම්, පොලිස්පති, නීතිපති යන අයට ලබා දී තිබෙන බවත් කිසිවකු ඒ ගැන අවදානයක් යොමු නොකළ බවත් මොහොමද් ජසීම් වැඩිදුරටත් කියා සිටී.

ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ පල්ලියේ සාමාජිකයන් පෙන්වා දෙන අන්දමට, නව නිකායක් පිහිටුවා ගැනීමටත් පල්ලියක් ඉදිකිරීමටත් සහරාන්ට තනිවම හැකියාව ලැබී තිබේ. පල්ලිය ඉදිකිරීමට ආධාර ලැබී ඇත්තේ ජුම්මා යාච්ඤා සඳහා පැමිණි, බැතිමතුන්ගෙනි. ‘ඔවුන් නව පල්ලියක් ඉදිකළේ විදෙස් ආධාර ඇතිවයි. ඔවුන්ට අනෙක් මූලධර්මවාදීන් සමඟ සම්බන්ධ වී සිටින්න බැරිවුණා. ඒ, අරමුදල් නොලැබුණු නිසා.’ යැයි ජමීම් අපට විස්තර කළේය.

2017 මාර්තු 20 වැනිදා, පොලිසියෙන් බේරී පලා යනතුරු, සහ්රාන් සාමය වෙනුවෙන් කැපවූ ආගමික දේශකවරයකු වූ බව ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සාමාජිකයෝ අවධාරණය කළහ. ‘අපි හුඟක් සමාජ සේවා වැඩ කළා. අප ඉස්ලාම් දහම අදහන්නේ එහි සඳහන් සැබෑ ආකාරයටයි.’ යැයි ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සාමාජිකයෝ වැඩිදුරටත් කියා සිටිති.

කෙසේ නමුත් සොහොයුරිය මොහොමද් හසීම් මදානියා පෙන්වා දෙන්නේ, සහ්රාන් ඊට පෙර සිටම අන්තවාදී අදහස් දේශනා කරන්න වූ බවය. ‘ඔහු රජය විවේචනය කරන්න වුණා. අධිකරණය විවේචනය කරන්න වුණා. අනෙක් ආගම්වලට එරෙහිව අදහස් දක්වන්න වුණා. මාර්තු මාසයේ ගැටුම සිදුවෙද්දී, ඔහු මෙවැනි අන්තවාදී අදහස් ඇතුළත් දේශන දෙකක් හෝ තුනක් පවත්වා තිබුණා.’ ඇය වැඩිදුරටත් කියා සිටියාය.

2012 සිට 2017 තෙක් වසර පහක කාලය පුරාවට, සහ්රාන් විටින් විට ඔහුගේ අන්තවාදී අදහස් ඇතුළත් ප්‍රසිද්ධ දේශනා ස්ථාන කිහිපයකදී පවත්වා ඇත. දක්ෂ කථිකයකු හා දේශකයකු වූ ඔහුට අනුගාමිකයන් ඇද ගැනීමේ ශක්තිය තිබුණා. ඔහුගේ පල්ලියට නොගියත්, ප්‍රසිද්ධියේ පැවැත්වූ එම දේශනාවලට 2,000 ක් හෝ 3,000 ක් ඇදී ආ බව පැවැසෙයි.

‘මට සෙයින් සහ ඔහුගේ පවුලේ අය අන්තිමට මුණ ගැසුණේ පසුගිය පෙබරවාරියේ.’ යැයි මදානියා විස්තර කරයි. 2019 මාර්තු 20 වැනිදා පැවැති ගැටුමින් පසු සහරාන් සමඟ පලා ගිය අනෙක් සොයුරා රිල්වාන් සමඟ ද තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව මදානියා වැඩිදුරටත් කියා සිටී. මරාගෙන මැරෙන බෝම්බකරුවන් කවුරුන්දැයි නිවැරදිව හඳුනා ගැනීමට උත්සාහ ගන්නා බුද්ධි අංශ අනුමාන කරන්නේ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතර සහරාන් නොසිටි බවත්, සහ්රාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිදැල්ලේ පසුවන බවත්ය.

‘මට මගේ ජීවිතය ගැන බියක් දැනෙනවා. අපි ඉන්නේ ලොකු බයකින්. සිදුවුණේ මහ අපරාධයක්. ඔහු සමඟ මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔහු මියගිහින් නම් ඒක සැනසිල්ලක්.’ යැයි මදානියා අදහස් දක්වමින් කියා සිටියේය. තම පවුලේ සාමාජිකයන් හදිසියේ, කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන්වීම සම්බන්ධයෙන් තමාගේ අදහස කුමක්දැයි අප මදානියාගෙන් විමසූ අවස්ථාවේදී ඇය මෙසේ පැවැසුවාය. ‘ඔවුන් ඔහුට එක් වන්න ඇති. ඔවුන් කවුරුවත් ඒ ගැන මා එක්ක කතා කළේ නැහැ. ඔවුන් හැමෝම දන්නවා මගේ සැමියා ඔහුට අකමැති බව. දැන් ඔහු වෙනුවෙන් මට බැණුම් අහන්න වෙනවා. ඔවුන් කිසිම කෙනෙක් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ.’

‘මේ කිසිවක් ආගමට සම්බන්ධ නැහැ. සිදුවුණු සියල්ල පිළිකුලෙන් හෙළා දකිනවා’ යැයි මවුලවි තවුෆීක් පැහැදිලි කළේ ‘එක් පුද්ගලයකු ඝාතනය කිරීම මනුෂ්‍යත්වය ඝාතනය කිරීමක්’ යන කුරාන පැදියක් ද උපුටා දක්වමිනි. සහරාන්ගෙන් පසු ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන මවුලවි තවුෆීක් කටයුතු කරන්නේ 2002 දීය. ‘මම ඔහුව දන්නේ ඉස්ලාම් දහම ඉගෙන ගන්නා කාලයේ පටන්. ඒත් අල් ෆාලා අරාබි විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළේ නැහැ. 2007 දී ඔහුට පිටවී යන්න සිද්ධ වුණා. තවුෆීක් සහ පල්ලියේ සෙසු සාමාජිකයන්, පවසන්නේ තවමන් කිසිවකු, සහරාන්ගේ අන්තවාදී දේශනා ඇතුළත් වීඩියෝ නරඹා නැති බවය. ‘ඔව්, ඔහු අයි.එස්.අයි.එස්. හිතවාදියෙක්. අපට එය දැනගන්න ලැබුණේ අනෙක් අයගෙන්.

සහරාන්ගේ නිකායට සම්බන්ධ අනුගාමිකයන් සිටියේදැයි විමසූ අවස්ථාවේදී, මවුලවි තවුෆීක් සහ ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සෙසු සාමාජිකයන් කියා සිටියේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය. ‘අයි.එස්. සාමාජිකයෙක් කියලා කවුරුවත් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඒක හදවතේ තියෙන දෙයක්.’ යැයි මවුලවි තවුෆීක් වැඩිදුරටත් කියා සිටියේය. මාස 10 ක පුතු ද ඇකයේ රඳවාගෙන, මදානියා දිගින් දිගටම කියා සිටින්නේ ඇය ඇය ගැනත්, සැමියා සහ දරුවා ගැනත් බියෙන් පසුවන බවය. ජාතික තව්හීද් ජමාත් කණ්ඩායමේ සාමාජිකයන් පමණක් නොව, බද්රියා පල්ලියේ අමීර් සහ ජසීම් ද පවසා ඇත්තේ ඔවුන් ද ඔවුන්ගේ ජීවිත ගැන බියකින් පසුවන බවය. ‘මේ මූලධර්මවාදීන්ට එරෙහිව නැගී සිටියේ අප ඔවුන්ට විරුද්ධ වුණේ දැන් අප ඉන්නේ අපේ ජීවිත ගැන බියෙන්’ යැයි ඔවුහු පැවැසූහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *