අද රට තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක්

අද රටේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් මේ දේශපාලන සූදුවේ අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ඉත්තන් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යෝජිත ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක කාර්‍යාලයේ දී අද (23) කැඳවා තිබූ සාකච්ඡාවක දී.

තව ද, ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්‍රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථයන් ජනග්‍රහණය කරවන තත්ත්වයක් උදගතව තිබෙන බව ද ඔහු එහි දී ප්‍රකාශ කළා.

එසේ ම ආණ්ඩුව හැම දේම කරන්නේ බලය ආරක්ෂා කර ගනිමින් තමන්ගේ තැන ආරක්ෂා කර ගැනීමට මිස ජනතාව වෙනුවෙන් නොවන බව ද ඔහු මෙහි දී පැවසුවා.

තව ද ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉවත් වීමේ සිට ව්‍යවස්ථා සංශෝධනය දක්වා වූ සෑම ක්ෂේත්‍රයක ම වෙනස් වීම දක්වා ම ජන අරගලය පැමිණි බවත්, එම අරගලය විනාශ කිරීමේ අරමුණින් පසුගිය මැයි 9 වැනි දා අරලියගහ මන්දිරය අසල හා ගාලුමුවදොර අරගලකරුවන් පහර දීමට කටයුතු කිරීම කළු පැල්ලමක් බවත් ඔහු එහි දී ප්‍රකාශ කළා.

කෙසේ නමුත් අරගලකරුවන්ට පහර දුන් පිරිස් නිදැල්ලේ සිටිය දී පහර කෑ අරගලකරුවන් අත් අඩංගුවට ගැනීම ඔවුන්ගේ මානව අයිතිවාසිකම් නිර්දය ලෙස උල්ලංගණය කිරීමක් ලෙසයි ඔහු හැඳින් වූයේ.

එසේම මුළු රට ම දේශපාලන ප්‍රතිසංස්කරණයක්, වෙනසක් අපේක්ෂා කළත් කිසි ම ජනපදනමක් නොමැති පුද්ගලයකු දොරටු පාලකයා බවට පත් කර ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුල සුරැකීමේ ප්‍රධානියා බවට පත්කර දේශපාලන සූදුවක් ක්‍රියාත්මක කරවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි දී වැඩිදුරටත් පැවසුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *