සෞදි ඇමෙරිකා තානාපති ධුරය රීමා බින් බන්දාර් කුමරියට

ඇමෙරිකාව සමඟ සම්බන්ධකම් පවත්වන සෞදි තානාපතිවරිය ලෙස රීමා බින් බන්දාර් අල් සෞද් කුමරිය නම් කිරීමට සෞදි රජු පියවර ගෙන ඇත.

සෞදිය නියෝජනය කරන ඇමෙරිකන් තානාපති ධුරයට පත් වුණු පළමු කාන්තාව වන්නේ ද රීමා බින් බන්දාර් අල් සෞද් කුමරියයි. සෞදි රජු විශේෂ රාජාඥාවක් මගින් රීමා බින් බන්දාර් අල් සෞද් කුමරිය එම තනතුරට පත් කිරීම සිදුවිය.

රීමා බින් බන්දාර් අල් සෞද් කුමරිය කුඩා කළ ගත කර ඇත්තේ, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරය. රීමා බින් බන්දාර් අල් සෞද් කුමරියගේ පියා බන්දාර් බින් සුල්තාන් අල් සෞද්ය. 1983 වසරේ සිට 2005 තෙක් කාලයේ ඇමෙරිකා තානාපති ධුරය හෙබවූයේ මොහුය. කුමරිය කුඩා කළ වොෂින්ටන් අගනුවර පදිංචිව සිටියේ පියාගේ රාජකාරි කටයුතු නිසාය.

ලලිත කලා සම්බන්ධයෙන් සහ කෞතුකාගාර අධ්‍යයන සම්බන්ධයෙන් කුමරිය ජෝර්ජ් වොෂින්ටන් සරසවියේ උපාධිධාරිනියකි. 2005 වසරේ රියාද් බලා පැමිණි කුමරිය රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් රාජකාරි කර ඇත. ව්‍යාපාර රැසක ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.

ඇමෙරිකාව සමඟ සම්බන්ධකම් පවත්වන සෞදි තානාපති ලෙස මෙතෙක් කටයුතු කළේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ බාල සොහොයුරු කලීඞ් බින් සල්මාන් කුමරුන්ය. මේ වනවිට ඔහුට සෞදි ආරක්ෂක අමාත්‍ය ධුරය හිමිවී ඇත.

රීමා බින් බන්දාර් අල් සෞද් කුමරිය, සෞදිය නියෝජනය කරන ඇමෙරිකන් තානාපතිනිය බවට පත් වී සිටින්නේ, මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සහ සෞදිය අතර හිතවත්කම් පළුඳු වී ඇති අවස්ථාවකය.

ජමාල් කශොග්ජී ඝානය සිදුවූයේ සල්මාන් කුමරුන්ගේ අනුදැනුම මත යැයි චෝදනා එල්ල වී ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසන්නේ, සෞදියේ සහාය ඇමෙරිකාවට අවශ්‍ය නිසාත්, සෞදිය සමඟ බිලියන ගණනින් ගනුදෙනු සිදු කරන නිසාත්, කාශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සෞදිය සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීමට නොහැකි බවය. කෙසේ නමුත් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) සල්මන් කුමරුන්ට එරෙහිව පියවර ගැනීමට සූදානමින් සිටී.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *