බස්නාහිර පළාතේ පහ ශ්‍රේණීයේ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇතුළත් පොතක් පාසල්වල දී අලෙවි කෙරෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා.
එක් පොතක් නොමිලේ පාසලකට ලබා දෙන අතර ඉන්පසු සියලුම සිසුන් ට එම පොත මිල දී ගන්නා ලෙස බල කෙරෙන බවත් කී හෙතෙම පොත අලෙවි කෙරෙන්නේ ගුරු උපදේශකවරුන්ගේ ද සහය ඇතිව යැයි ද සඳහන් කළා.
එහි මිල රුපියල් 165ක් වනවා. මෙලෙස අලෙවි කෙරෙන පොතේ ඇතුළත් ප්‍රශ්න පන්ති කාමරයේ දී සාකච්ඡා කෙරෙන බව ද පොතක් මිල දී ගැනීමට නොහැකි දරුවන්ට එය අසාධාරණයක් බව ද ජෝශප් ස්ටාලින් සඳහන් කරනවා.
විභාගයට මාසයක්වත් නොමැති තත්ත්වයකදී මෙවැනි පොතක් අලෙවි කිරීමේ අවශ්‍යතාව කුමක් ද යන්න හා කාගේ වුවමනාව මත මෙම පොත අලෙවි කෙරෙන්නේ ද යන්න ගැටලුවක් බවත් ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළා.
පළාත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මෙම පොත පාසල්වලට ලබා දෙන්නේ පළාත් මුද්‍රණාලය මගින් යැයි මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මාධ්‍යට සඳහන් කර තිබෙනවා.
මෙම පොත පාසල්වලට ලබා දීම සම්බන්ධයෙන් තමන්ගේ වගකීමක් නැතැයි ද එහි ආදායම හිමි වන්නේ පළාත් මුද්‍රණාලයට යැයි ද ඔහු සඳහන් කර තිබෙනවා.