සිංහල කාන්තාවන් අඳින ‘සුදු සාය සහ හැට්ට මිළට ගත් පිරිස’ සොයයි

ඉකුත් 19 වැනිදා මීරිගම ප්‍රදේශයේ රෙදිපිලි වෙළෙඳසැලකින් සිංහල කාන්තාවන් අඳින සුදු සාය සහ හැට්ට යුගල 10ක් මිලදී ගත් බුර්කා ඇඳුමින් හිස වසාගෙන පැමිණ කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරු හඳුනාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

ඔවුන් මෙම ඇඳුම් මිලදීගෙන ඇත්තේ ඉදිරි වෙසක් හා පොසොන් උත්සව සමයේ ජනතාව ගැවසෙන ස්ථානවලදී කිසියම් අපරාධයක් කරන සූදානමෙන් යැයි ආරක්ෂක අංශවලට සැක පහළ වී තිබෙනවා.

ඉකුත් 19වැනිදා වෑන් රියකින් පැමිණි පිරිසේ කාන්තාවන් තිදෙනෙකු, අත දරුවකු හා පිරිමියෙකු ඉකුත් 19 වැනිදා සවස 6.30ට පමණ පැමිණ රුපියල් 29,020ක් වටිනා රෙදි මිලදී ගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

සිංහල කාන්තාවන් අදින සුදු පැහැති සාය හැට්ට 10 ක් සහ තවත් ඇඳුම් ද, අත දරුවාට සෙල්ලම් බඩුද මිලදී ගෙන ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම කාන්තාවන් තම සිරුරට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් තෝරාගෙන ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මෙම ස්ථානයෙන් මිලදී ගත් සාය හැට්ට යුගල 5ක් සායින්දමුරුදු සුනාමි ගම්මානයේ නිවසේ තිබී සොයාගෙන ඇති අතර මිලදීගත් අනෙක් ඇඳුම් කට්ටල 5 සොයා ගැනීමට පරීක්ෂණ පැවැත්වෙනවා.

එම ඇඳුම් කට්ටල කිසියම් ස්ථානයකදී වෙනත් සාමාජික පිරිසක් අතට පත් කළාදැයි සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළා.

ත්‍රස්ත කල්ලියේ සාමාජිකාවන් ඉදිරි වෙසක් පොසොන් උත්සව සමයේදී සිංහල කාන්තාවන් ලෙස සැරසී අපරාධ හෝ පිපිරුම් සිදුකිරීමට සූදානම්ව සිටීදැයි දැඩි සැකයක් ඇතිවී ඇතැයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.

කල්මුණ සායින්දමරුදු සුනාමි ගම්මානයේදී පසුගිය 26 වැනිදා බෝම්බ පුපුරුවාගෙන මියගිය ත්‍රස්ත්‍ර කල්ලියේ සාමාජික පිරිස සිටි නිවසේ තිබී හමුවූ රෙදි කවරයක තොරතුරු පිළිබඳව කළ පරීක්ෂණවලදී මෙසේ සැක සිතුණු බව පොලිසිය කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *