මාවනැල්ලේ බුදුපිළිම කැඩූවන් පිළිබඳ ඔත්තුව දුන් ‘නස්ලීම්’ වෙඩි කෑමට පෙර දින කී කතාව

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඩූ අන්තවාදීන්ට හා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිසිය හා සහයෝගයෙන් කටයුතු කළ මාවනැල්ල උදාගම්මානයේ පදිංචි එච්. ආර්. එම්. නස්ලීම් මහතාට වෙඩි තබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

නස්ලීම් මහතා නිවසේ ඇඳක් මත නිදාගෙන සිටියදී පෙරේදා (9 දා) අලූයම වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබුණා.

මොහුට වෙඩි තැබීම සඳහා යතුරු පැදියකින් දෙදෙනෙකු පැමිණ නිවසේ පස්ස දොරෙන් ගෙට ඇතුළු වී ඇඳේ නිදාගෙන සිටියදී වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි හෙළිවී ඇති අතර නස්ලීම් මහතා නිදාගෙන සිටි ඇඳේ කොට්ටය මත තිබී පිස්තෝලයකින් නිකුත් වූ උණ්ඩයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නස්ලීම් මහතා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඔහුගේ තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. එහිදී ඔහුගේ හිසට ශල්‍යකර්මයක් සිදුකර තිබෙන අතර ඔහු සිහිය නොමැතිව දැඩි සත්කාර ඒකකයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නස්ලීම් මහතා උනාගම මුස්ලිම් පල්ලියේ සංගමයේ සභාපතිවරයාද වේ. තිදරු පියෙකුද වන ඒ මහතා සමාජ සේවා සංවිධාන රැසක තනතුරු හොබවන ප්‍රදේශයේ සියලූ ජාතීන් අතර සහයෝගයෙන් කටයුතු කළ අයෙක් වනවා.

ඒ මහතාට වෙඩි තැබීමට පෙරදින (8) පල්ලියේ ආගමික වතාවන් වලින් පසුව පැවති රැස්වීමේදී ප්‍රදේශයේ මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය තුරන් කළ යුතු බවත් ඒ සඳහා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල සහාය ලබාදිය යුතු බවත් ඔහු පැවසූ බව ප්‍රදේශවාසීහු පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *