ශානිගේ පිස්තෝලයේ උණ්ඩ වැඩි වෙලා – මැගසින් අඩු වෙලා

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා වැඩ තහනමට ලක් කිරීමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුව වෙත සිය රාජකාරි ගිනි අවි භාරදීමේදී සිදු වී ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශානි අබේසේකර මහතා වෙත බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්, මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ 30 ක් නිකුත් කර තිබී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළා.

එහෙත් වැඩ තහනමට ලක් වීමෙන් පසුව ශානි අබේසේකර මහතා පොලිස් අවි ගබඩාව වෙත සිය රාජකාරි ගිනි අවි භාරදීමේදී බ‍්‍රවුනින් පිස්තෝලයක්, එක් මැගසිනයක් සහ ජීව උණ්ඩ 50 ක් භාරදී තිබුණා.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශානි අබේසේකර මහතාට නිකුත් කර තිබූ මැගසින් දෙකෙන් එකක් අතුරුදන් වී ඇති අතර ජීව උණ්ඩ 30 වෙනුවට උණ්ඩ 50 ක් ඒ මහතා විසින් අවි ගබඩාව වෙත භාරදී ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම අවි භාරදීමේදී සිදු වී ඇති අතිරික්තතාව සහ ඌණතාව සම්බන්ධයෙන් පොලිස් අවි ගබඩාව විසින් පොලිස් මූලස්ථාන බලධාරීන් දැනුවත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් අවි ගබඩාවේ නිලධාරීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව තොරතුරු ඉල්ලා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ශානි අබේසේකර මහතාට පිස්තෝලයක්, මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ 30 ක් පමණක් නිකුත් කර තිබූ බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *