නල ජල පද්ධතියට මත්පැන් මුසු වෙලා – බීර, බ්‍රැන්ඩි සහ රම් සියල්ල ඇතුළත්

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහල් නිවාස සංකීර්ණයකට ලැබෙන නල ජල පද්ධතියට මත්පැන් කලවම්වීමෙන් මහත් ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා.

නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් උදෑසන නල ජලය පරිහරණය කරද්දී අමුතු වර්ණයක් සහ ගන්ධයක් දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔවුන් ඒ බව නගර බලධාරීන්ට දැන්වා ඇති අතර, නගර බලධාරීන් සහ පොලිසිය පැමිණ සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බලා තිබෙනවා.

අකරතැබ්බට මුහුණ පා ඇත්තේ මහල් නිවාස 18 ක පදිංචිකරුවන් යැයි ද පැවැසෙනවා.

නල වතුරට බීර, බ්‍රැන්ඩි සහ රම් කලවම් වී ඇති බව සිදු කළමූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මහල් නිවාස සංකීර්ණයේ බොහෝ දෙනකු උදෑසන ආහාර පිසීමට, වැසිකිළි යෑමට පමණක් නොව, ස්නානය කිරීමට ද මෙම මත්පැන් මුසු නල ජලය භාවිතයට ගෙන ඇති බව කේරළ මාධ්‍ය වාර්තා සඳහන් කළා.

නගරසභා නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සිදුවී ඇත්තේ කුමක්දැයි වැඩිදුර විමර්ශනයක් සිදුවූ අතර එහිදී නල ජල පද්ධතියට මත්පැන් මුසුවූ අයුරු සොයා ගැණුනා.

අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගැණුනු මත්පැන් බෝතල් තොගයක් වළකට දැමීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන ඇති අතර මේ වළ පිහිටා ඇත්තේ මහල් නිවාස සංකීර්ණයට ජලය ලබා ගන්නා ළිඳ අසලය.

බෝතල්වලින් මත් පැන් කාන්දු වී පසට උරාගෙන ඇති බවත්, පසුව පස් හරහා එම මත්පැන් ළිඳට කාන්දු වී ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වුණා.ළිඳට කාන්දු වී ඇතැයි පැවැසෙන මත්පැන් ලීටර් ගණන 6,000 කට වැඩිය.

කේරළයට යනු ඉන්දියාවේ වැඩිම මත්පැන් පරිභෝජනයක් සිදු කරන ප්‍රාන්තයයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *