මාකඳුරේ මධුෂ් ඇතුළු ඩුබායි හෝටල් සාදයේදී කොටු වූ තිස් එක් දෙනා ලබන මාර්තු 28 දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් වෙන්නේ දෙපාර්ශ්වයක් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් විසිකරද්දීය.
මධුෂ් පාර්ශ්වය වෙනුවෙන් මධුෂ්ගේ දෙවැනි බිරිය නීතිඥවරුන් හා නීති අංශ සඳහා කෝටි ගණනින් මුදල් විසිකරන්නට වූයේ කෙසේ හෝ ඇපගන්නටය. මධුෂ්ගේ පාර්ශ්වය විවිධ මාර්ග ඔස්සේ එසේ කටයුතු කරද්දී පාකිස්තාන මත්කුඩු ජාලයේ මධුෂ්ට විරුද්ධ පාර්ශ්වයද තව දුරටත් මධුෂ්ට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.
මාකඳුරේ මධුෂ්ව අබුඩාබි පොලිසියට ඔත්තුවක් දී කොටුකර දීමෙන් පසුව එයට මුල් වූ කුඩු මොරිල් හෙවත් මොරිල් මයිකල් එංගලන්තයට පැන ගියේය.
පසුගිය සතියේ හෙළිව තිබුණේ ආරක්ෂාව පතා එංගලන්තයට ගිය කුඩු මොරිල් යළිත් ඩුබායිවලට පැමිණි වගය. කුඩු මොරිල්ට එරටින් ආරක්ෂාව ලැබෙන බව කුඩු මොරිල් මෙරටට දන්වා සිටියේය.
මේ සියලු කාරණා සිදුවන්නේ කුඩු මොරිල්ගේ කුඩු තොග පිටින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට කොටුවෙද්දීය. පසුගිය සෙනසුරාදා ලංකාවේ විශාලතම කුඩු තොගය ඇල්ලූ මෙහෙයුමේදී සොයාගත් කුඩු කිලෝ 294ම කුඩු මොරිල්ගේ ඒවාය.
කුඩු මොරිල්ගේ හෙරොයින් ජාලය ගැන මුල්වරට ඔත්තු දුන්නේ මධුෂ්ගේ පාර්ශ්වය බව මොරිල්ගේ පාක්ෂිකයන් දරන මතයය. මොරිල්ගේ කුඩු තොගය රැගෙන ආවේ ඕස්ට්‍රේලියානු පෙඩරල් පොලිසියත් සොයමින් සිටි දුලිප් සමන්ත සිල්වා නම් වූ මිනිස් ජාවාරම්වලටද සම්බන්ධ අයෙකි. පසුගිය වසරේ දෙසැම්බර් 05දා හෙරොයින් කිලෝ දෙසිය තිස් එකක් සමඟ මෙරට මුහුදු තීරයේදී කොටු වූයේ මොරිල්ගේ කුඩු තොගයකි. මොරිල්ගේ පාර්ශ්වය මෙන්ම මොරිල්ගේ කුඩු එවන පාකිස්තාන් කුඩු ජාලයට අයත් ජාවාරම්කරුවන්ද මධුෂ්ට එරෙහි මෙහෙයුමක් ඇරඹුවේ ඔවුන්ගේ කුඩු තොග ගැන මධුෂ් ඩුබායි සිට ඔත්තු දෙද්දිය.
අනෙක් කණ්ඩායම් මෙරටට එවන කුඩු තොග පිටින් අල්ලා දෙන්නට විවිධ ඔත්තුකරුවන් මධුෂ්ට සිටියේය. දුලිප් සමන්ත මත්කුඩු ජාවාරමෙන් හා මිනිස් ජාවාරමෙන් ප්‍රකෝටිපතියකු වූවෙක්ය. ට්‍රෝලර් අටක් දුලිප්ට හිමිය.
පාකිස්තාන මත්කුඩු ජාලයට අයත් කුඩු තොග ෂිසෙල්ස් රාජ්‍යයට ගෙනයන දුලිප් හා මොරිල්ලාගේ ජාලය එළිවන්නේ මධුෂ් කළ පාවාදීමෙන්ය.
මධුෂ් මීට පෙර දෙවුන්දරදීත් මොරිල්ගේ කුඩු කිලෝ 128ක් අරගත්තේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මේ ගැන තොරතුරු ලැබී යද්දී මධුෂ්ගේ කණ්ඩායම් ඊට පෙර ඉස්සර වූහ. මධුෂ් යෙදවූයේ එජාප ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ කණ්ඩායමකි. දෙවුන්දර ඩිලයිඩ් හා ගිල්බට් ඊට නායකත්වය දුන්හ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ලෙසින් ඩිලයිට්ලා කුඩු තොගය මංකොල්ල කෑහ.
එයින් නොනැවතී මධුෂ් මොරිල්ගේ කුඩු තොග පිටින් අල්ලා දෙන්නට තොරතුරු ලීක් කළේය. මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සැබෑ ස්වභාවයයි. වෙන කෙනකුට වඩා තමාගේ ජාවාරම උඩට ගෙන එන්නට මත්කුඩු ජාලයේ සිටින ඕනෑම අයකු දරන වෑයමය. ඒ වෙනුවෙන් අනිකා පාවාදීමද ජාවාරමුන්ගේ හැටිය. රහසිගතව කෝටි ගණනක් වියදම් කරන එවන් කුඩු තොග ගැන ඔත්තු ලීක් කරන්නේත් මේ කියන ජාවාරමුන්ය.
කුඩු තොග මෙරටට යවන තුරු මුදල් ගෙවන්නේ නැත. ඒ වෙනුවට කුඩු ඩීල් එකකදී සිදුවන්නේ හිසට හිසක් ඇපයට දීමය. මොරිල් පාකිස්තානයෙන් ණයට ගත් කුඩු තොගවලට ඇපයට තැබුවේද තමාගේ ළඟම ගෝලයන්ය.
අත්තිකාරම් මුදලක් ගෙවා හිසට හිසක් ඇපයට තැබීම කුඩු ජාවාරමේ සිදුවන ගනුදෙනුවය. කුඩු තොගය ගනුදෙනුකරුගේ තැනට ගිය පසුව මුදල් බේරීම සිදු කරත්ම ඇපයට තැබූවන් මුදා හැරීම ගනුදෙනුවේ අවසානයය.
කුඩු මොරිල් මෑතකදී ඇපයට තැබූ ළඟම ගෝලයන් දෙදෙනකුම පාකිස්තාන මත්ද්‍රව්‍ය මාෆියාව අතින් මැරුම් කන්නේය. ගනුදෙනුවේ ප්‍රශ්නයක් නිසාය. මධුෂ් නිසා මොරිල්ගේ කුඩු තොග අහිමිවෙද්දී මුදල් ගෙවාගත නොහැකි වූයෙන් මොරිල්ගේ ගෝලයන් දෙදෙනා මරා දමනු ලැබීය. පාකිස්තාන් කුඩු ජාලය ගනුදෙනුව හරිහැටි නොවුණහොත් කරන්නේ ඇපකරුවන් මරා දැමීමය.
මොරිල් මධුෂ්ගේ කුඩු ජවාරමට එරෙහිව මාස දෙක තුනක් තුළ හිස ඔසවන්නේ මේ කියන කාරණා නිසාය. මෙම කාරණා සිදුවෙද්දී පාකිස්තාන් කුඩු මෝරුන්ටත් මධුෂ් කුඩු කිලෝ හය හත්සියයක මුදල් නොගෙවා පොලු තබා තිබුණේය. මධුෂ්ට තම ගෝලයන් කෙතරම් මැරුණත් කම් නැත. ඒ මධුෂ්ගේ හැටිය.
අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලැඩියාව කළුතර බන්ධනාගාර බස්රථයට පහර දෙන්නට යවද්දීත් මධුෂ්ගේ සැලසුම වී තිබුණේ මොවුන් මැරුණත් කමක් නැත යන්නය. මධුෂ්ගේ සැලසුම එය බව තේරුම් යන විට අංගොඩ ලොක්කලා සාර්ථකව කඩුවෙල සමයං මරා දමා තිබුණේ තම ජීවිත රැකගනිමින්ය.
සමයං ඝාතනය කර ඉන්දියාවට පැනගත් ලොක්කා හා ලඩියා අදටත් ඉන්දියාවේම සිට යුරෝපයට යන්නට උත්සාහ ගන්නේත් මධුෂ් ආත්මාර්ථකාමියකු බව දැනගත් පසුවය. මධුෂ් මොවුන්ව ඩුබායිවලට ගෙන්වා ගන්නට උත්සාහ නොගැනීමත් මෙම සිත්තැවුලට හේතුවිය. අවසානයේ යුරෝපයට පැන යන්නට ඔවුන් සැලසුම් කරන්නේය. අතුරුගිරියේ ලැඩියාව පාතාල ලෝකයට ගෙන ආ අතුරුගිරියේ බාල්දි ප්‍රියන්තත් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේය.
ලැඩියා හා ලොක්කාත් එවැනි රටකට පැනයන්නට වෙර දරන්නේ ඩුබායි රාජ්‍යයේ තමන්ට ඉන්නට ඉඩක් නැති නිසාය.
ලංකාවේ විශාලතම හෙරොයින් තොගය සමඟ මොහමඩ් බසිර්, රිලා අහමඩ් රුස්ති යන පාකිස්තාන් කුඩු ජාලයේ ප්‍රධාන සැපයුම්කරු කොටුවීමත් පාකිස්තාන් කුඩු ජාලයට එල්ල වූ දැවැන්ත පාරක් වී තිබෙන්නේය.
මධුෂ් දිගින් දිගටම කළ පාවාදීම් නිසා රුස්ති වැනි සැඟවුණු චරිත සොයාගන්නට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට හැකිවූ බව පාකිස්තාන් මත්ද්‍රව්‍ය ජාලයද දන්නේය. ඒ පාකිස්තාන් ජාලයේ තොරතුරු ජාලය ප්‍රබල නිසාය.
පාකිස්තාන් කුඩු ජාලය සමඟ සෘජු සබඳතා පවත්වන මොහමඩ් සිද්දික්ට මෙරට මෙන්ම පිටරට ඇත්තේද විශාල බලයකි. සිද්දික් සමඟ මධුෂ්ට හැරෙන්නටවත් බැරි බව මත්කුඩු ජාලයේ සිටින්නවුන් දනිති. සිද්දික් පාකිස්තාන් මෙන්ම ඇෆ්ගන්, ඩුබායි මහා පරිමාණ ජාවාරම්කරුවන් සමඟ අදටත් හිරගෙදර සිටම ගනුදෙනු කරන්නෙකි.
මධුෂ්, සිද්දික්, මොරිල්, ශිරාන් බාසික්, වෙලේ සුදා සමඟද හැප්පෙන්නේ කුඩු ජාවාරමේ කෙළ පැමිණෙන්නටය. නමුත් දැන් මධුෂ්ට වැරැදී ඇත්තේ මධුෂ්ට එරෙහිව කෝටි ගණන් වියදම් කරමින් ඩුබායිවල මෙහෙයුමක් ක්‍රියාත්මක වූ නිසාය.
මධුෂ් කොටුකරන මෙහෙයුමට ඔත්තුව දෙන්නට මොරිල් ඇතුළු කණ්ඩායම් භාවිත කළේත් ඩුබායි පොලිසියේ සිටින ඔත්තුකරුවන්ය. එකී ඔත්තුකරුවන්ට සියලු තොරතුරු හඹායන්නට මොරිල් මෙන්ම මත්කුඩු මාෆියාවේ මධුෂ්ට එරෙහිව නැඟී සිටි පාර්ශ්ව කෝටි ගණනින් මුදල් විසිකළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස මධුෂ් කොටු වූ අතර මධුෂ්ට එතැනින් නිමාවක් දෙන්නට ඔවුන් සූදානම් ද නැත.
සිද්දික් බංග්ලාදේශයෙන් කුලියට ගන්නා තරුණියන් දෙදෙනකු ඇතුළු ප්‍රහාරක කණ්ඩායමක් යොදවා මධුෂ් රැඳී සිටින සුපිරි නිවාස සංකීර්ණයට රිංගවා පහරදෙන්නට සැලසුම් කළේද මධුෂ් හිසරදයක් වූ නිසාය. බංග්ලා තරුණියන් ෆර්දාව අන්දවා මධුෂ්ගේ හා කංජිපානිගේ නිවෙස්වලට රිංගවා සැලසුම් සහගතව ඝාතනය කරන සැලසුමක් අතරේ මධුෂ්ව කොටුවන්නේය.
මාකඳුරේ මධුෂ් කොටුවූවත් මධුෂ්ගේ ගෝල බාලයන් තවදුරටත් ඩුබායි සිට මධුෂ්ගේ වැඩ කරන්නට වෙරදරන බවද මේ සතියේ හෙළිවිය.
ඩුබායි සිට මධුෂ් පාර්ශ්වය වෙනුවෙන් මෙරටට ලද ඇමතුමකින් ඒ බව කියැවුණේය. මෙම 23දා ඩුබායිවලින් දුරකථන ඇමතුම ආවේ ක්‍රිෂාන් ඩේවිඩි පීරිස් නැමැති කෝටිපති ව්‍යාපාරිකයාගෙනි. මොහු පන්නිපිටිය ඇරැව්වල පදිංචි ආසියාවේ ලොකුම දියමන්ති කොල්ලයේ දියමන්තිය හා මැණික් හිමිකරුය. ඉකුත් නොවැම්බර් 05 දා මාකඳුරේ මධුෂ් මෙම කොල්ලයට යැව්වේ මාතර මල්ලි (තුසිත), ලොකු අයියා නාලක, සම්පත් තුෂාර, වෙඩිකන්දේ කසුන්, කඩුවෙල හේමාල්, මොරටුවේ කසුන්, ඉන්දික කැළුම් යන කණ්ඩායමය.
මෙම පිරිස මෙහෙයවූ ඉන්දික මාකඳුරේ මධුෂ්ගේ සැඟවුණු බැංකුකරුය. ඉන්දික දැනට අත්අඩංගුවට ගෙන නැත. ඔහු පෝර ගෝනිවලින් කුඩු සල්ලි ගෙනැවිත් මධුෂ්ට දුන් අයෙකි. දෙවුන්දරින් ඩිලයිට්ලා යොදා කොල්ල කෑ කුඩු කිලෝ 128 විකුණන්නට මධුෂ් භාර දුන්නෙත් ඉන්දිකටය. ඉන්දික මධුෂ්ගේ සල්ලිවලින් අධික සැප වින්ද අයෙක්ය. කෑමබීම, ඇඳුම් පැලඳුම්වලට පවා ඉහළ පැලැන්තියේ ව්‍යාපාරිකයකු මෙන් අත දිගහැර වියදම් කළ අයෙක් වූයේ ඉන්දිකය. දිනකට මධුෂ්ගේ කුඩු සල්ලි ලක්ෂ තිහ හතළිහක් ඉන්දික භාරයට ගැනෙන්නේය.
හාල් ගෝනි අස්සේ පවා මොවුන් මධුෂ්ගේ කුඩු තොග ප්‍රවාහනය කර තිබුණේය.
දියමන්ති කොල්ලයේ සැලසුම් ඉන්දිකගේය.
කෝටි 700 මැණික ඇරැව්වලින් මංකොල්ල කෑමෙන් පසු එය පිළියන්දලට ගෙනැවිත් මධුෂ්ගේ කුඩු ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා වන ඉන්දික කැළුම් සම්පත් අතට පත් කර තිබේ. එය එතැන් සිට මොරටුවට ගෙනයන්නේ ඉන්දිකය.
මේ මෙහෙයුමට ඉන්දිකගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා වන කසුන් හා කඩුවෙල ජංගම දුරකථන අලෙවිසැලක් හිමි හේමාල් රංජන පෙරේරා ද සම්බන්ධ වී ඇත. හේමාල් ජංගම දුරකථන තාක්ෂණය පිළිබඳ දැනුම් සම්භාරයක් සහිත අයෙකි. මධුෂ්ගේ පියාගේ අවමඟුල් උළෙල වයිෆයි තාක්ෂණය ඔස්සේ ඩුබායි සිට අන්තර්ජාලයෙන් නැරඹීමට තාක්ෂණ පහසුකම් සපයා දී ඇත්තේද හේමාල්ය.
ඇරැව්වල මෙහෙයුම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමට හේමාල් ‘වයි නයින්’ ජංගම දුරකථන දෙකක් උපයෝගී කරගෙන ඇත. අයකු සිටින ස්ථානය පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි විශේෂ ඇප් එකක් ඒවාට අනුගත කරන්නේ ඔහුය.
එයින් එක් දුරකථනයක් ඇරැව්වල ව්‍යාපාරිකයාගේ නිවෙසට යන කණ්ඩායම අතට පත්කර අනෙක් දුරකථනය මෙහෙයුම නිරීක්ෂණයට පැමිණි කැබ් රථයේ සිටින ඉන්දික ළඟ තබාගනී.
මංකොල්ලය සඳහා විදේශිකයා සමඟ කණ්ඩායම මීගමුවේ සිට පැමිණෙද්දී එක් දුරකථනයක් තිබුණේ ඔවුන් අතය. අනෙක පිළියන්දල සිට මෙහෙයුම නිරීක්ෂණය කරන ඉන්දික අතය. කොල්ල කණ්ඩායම ඇරැව්වලට එන ආකාරය කැබ් රථයේ සිටින ඉන්දික දුරකථනයෙන් නිරීක්ෂණය කළේය. ඒ අවස්ථාවේ කසුන් හා හේමාල් ද සිටියේ ඔහු සමඟය.
කොල්ලය සිදුකළ මාතර මල්ලී බෑගයක් රැගෙන පිළියන්දල තිබෙන කැබ්රිය සොයා එයි. එම බෑගයේ පිස්තෝල තුනක්, කෝටි 700 දියමන්තිය, කුඩා මැණික් හා දියමන්ති කිහිපයක්ද තිබිණි. ඉන්දික දියමන්තිය අතට ගෙන එය හේමාල්ගේ අතට දෙයි.
“මේකෙ ගාණ කීයක් විතර වෙයිද?”
ඔහු ඇසූ පැනයට හේමාල් පිළිතුරු දෙන්නේ මුව පිරුණු සිනාවකිනි. ඉන් පසුව කැබ්රිය යන්නේ හොරණටය. එහිදී කසුන් කැබ්රියෙන් බැස යයි. රිය පදවන හේමාල් ඉන්දික ද සමඟ ඊළඟට එන්නේ මොරටුව කීල්ස් සුපිරි වෙළෙඳසල අසලටය. එතැනදී දියමන්ති සහිත බෑගයද රැගෙන ඉන්දික කැබ්රියෙන් බැස ගනී. ඉන්පසු හේමාල් පිළියන්දල හරහා කඩුවෙල බලා කැබ්රියේ පැමිණෙයි.
කලකට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බව හඟවමින් කුඩු කිලෝ 130ක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ වූයේද ඉන්දික හා කසුන්ය.
මේ ඉන්දික කැළුම් සම්පත් බාහිර සමාජය ඉදිරියේ පෙනී සිටිනුයේ ඉන්ජිනේරුවකු හැටියටය. මස් මාළු නොකන ඔහු හැසිරෙන්නේ බෞද්ධ මහෝපාසකයකු ලෙසය. ඔහු දකුණේ බොරලුහේන පන්සලේ කඨින පූජාවට රුපියල් ලක්ෂ 60ක් වැය කර අති උත්කර්ෂවත් ලෙස පින්කම සිදු කළේය. ඉන්පසුව දකුණේම තවත් විහාරස්ථානයකට විශාල මුදලක් වැය කර චෛත්‍යයක්ද ඉදිකර දුන්නේය. මස්, මාළු පවා නොකන ඉතා කඩවසම් රූපකායකින් හෙබි මධුෂ්ගේ ප්‍රධාන මෙහෙයුම්කරුවා බව කිසිවකුත් විශ්වාස නොකරන තැනට ඔහු සමාජය ඉදිරියේ හැසිරෙන්නේය. එසේ නමුත් ඔහු මංකොල්ලකෑම් ඇතුළු බරපතළ අපරාධ රැසකට සම්බන්ධ වී දස වසරක සිරදඬුවම් පවා ලැබ නිදහස් වූ අයෙකි. ඉන්දික මධුෂ්ව හඳුනාගන්නේ සිර දඬුවම් විඳිමින් සිටියදීය.
ආරක්ෂක අංශ තවමත් ඉන්දික සොයමින් සිටින්නේය. මේ වන විට අධිකරණ නියෝග මත නියමිත දිනවල ඔහු පොලිස් පොතේ අස්සන් තැබිය යුතුය. ඊට අමතරව ඔහුට එරෙහිව මහාධිකරණ 06ක නඩු මේ වන විටත් විභාග වෙමින් ඇත්තේය.
කොල්ලයට වෙඩිකන්දේ කසුන් එන්නේ ගිනි අවිය රැගෙනය. කසුන්ව වෙනමම කොල්ලය සිදුවන ආකාරය නිරීක්ෂණය කරන්නට යොදවන්නේ මධුෂ්ය.
මධුෂ් කොල්ලය සඳහාම එවූ ඕස්ට්‍රේලියානු ජාතිකයා ගැන අදටත් තොරතුරක් නැත්තේ මහරගම පොලිසිය වෙත එකී විදේශිකයා හා ඔහුත් සමඟ සිටි බේරා්කර්ගෙන් කටඋත්තර ගනිද්දී පාස්පෝට් අංක ඇතුළු කිසිවක් පොලිසියේ සටහන් නොවූ නිසාය.
මොහු නොවැම්බර් 07දා රටින් පැනගෙන තිබූ නිසා අදටත් විස්තර සොයා ගත නොහැකිය.
මිරිහාන පොලිස් විශේෂ ඒකකය කරන විමර්ශනවලට කොල්ලයේ කණ්ඩායම් කිහිපයක් කොටුවුවද ප්‍රධාන සැකකරුවන් සොයාගෙන නොමැත.
මොරිල් ඩුබායි සිට මෙරටට දන්වා තිබුණේ කොල්ල කෑ දියමන්තිය ඩුබායි පොලිසිය මධුෂ් භාරයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති වගකි. එහි සත්‍ය අසත්‍යතාව හෙළිවන්නේ ඩුබායි පොලිසියත් නිල වශයෙන් හෙළිකළ විටදීය.
මධුෂ් කොටුවෙන්නට පෙර දියමන්තියේ හිමිකරු ක්‍රිෂාන් මොරිල්ට දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තේය. එහිදී මධුෂ් කියා තිබුණේ වැඩිය දඟලන්න එපා උඹටත් සාධාරණයක් කරන්නම් යන්නය. මධුෂ් මෙය කෝටි එක්දහස් තුන්සියයකට විකුණූ බව එදා පවසා සිටියේය.
දැන් මධුෂ් ඉන්නේ ඩුබායි පොලිස් භාරයේය. ඒ තිබියදී “වැඩිය දඟලන්න එපා. දැන් දැඟලුවා හොඳටම ඇති. පරිස්සමින් ඉඳපං” කියා ඩුබායි සිට කෝටිපති ව්‍යාපාරිකයාට ඇමතුම එන්නේ ඉකුත් 23දාය.
ඒ ගැන පොලිස් පැමිණිල්ලක්ද තිබෙන්නේය. මධුෂ් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් දැන් බියට පත්ව ඇතත් ඔවුන් තම ජාවාරම් හා ක්‍රියාකාරකම් කරගෙන යන වග මින් පැහැදිලිය.
ඩුබායි නොගිය බව කියන දියමන්තියේ සැබෑ තතු ළඟදීම හෙළිකරගත හැකි වන බව පරීක්ෂණ කණ්ඩායම්වල විශ්වාසයය.
– පුබුදු වික්‍රමතිලක –