එහෙට මෙහෙට පැන්න ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ඒ. එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර තිබෙන්නේ ඔවුන් පක්ෂයේ මතයට පිටින් කටයුතු කරමින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමයි. මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ජනතාවගෙන් හා පාක්ෂිකයන්ගෙන් දිනපතා විවිධ ලිපි හා පැමිණිලි ලැබෙන බවද ප්‍රකාශ කළේය.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින අතර විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්ව සිටී.

මේ අතරින් එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා යන මන්ත්‍රීවරුන් පසුගිය මහ මැතිවරණයේදී දිස්ත්‍රික් ලැයිස්තුවලින් පරාජයට පත්වීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන් වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *