කෙනෙකුගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් තමාගේ ජීවිතය පරදුවට තැබීම ලෙහෙසි කටයුත්තක් නොවෙයි. එවන් වික්රමාන්විත මෙහෙවරක් ඉටුකර තවත් අයෙකුට ජීවිතයේ සැබෑ සතුට ගෙන ආ පුවතක් කිලිනොච්චිය, පුනරීන් ප්රදේශයෙන් ඉකුත් සති අන්තයෙන් වාර්තා වුණා.
අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ රොන්මඩ සහිත දියවළක ගිලෙමින් සිටි එකම පවුලේ පිරිසක් තම දිවි දෙවැනි කොට මෙලෙස බේරාගත්තේ කිලිනොච්චිය ආරක්ෂක සේනාවට අයත් 05 වන යාන්ත්රික පාබල රෙජිමේන්තුවේ හමුදා සෙබළුන් දෙදෙනෙක්. දරුවන් දෙදෙනෙකු, බිරිඳ සහ සැමියෙකු මෙලෙස රොන්මඩෙහි එරී ඇති අතර ඔවුන් බේරා දෙන ලෙස පවුලේ බාල දරුවා කෑගසන හඬ ඇසී එම ස්ථානයට ළඟා වූ රණවිරුවන් මෙම මෙහෙයුම ආරම්භ කළේ දැඩි පරිශ්රමයක් යොදමින්.
ලාන්ස් කෝප්රල් ජේ. පී. ආරියරත්න ඒ පිළිබඳව නෙත් නිවුස් වෙත පැහැදිළි කරමින් සඳහන් කළේ මඩේ එරෙමින් සිටි පිරිස පිටතට නොපෙනුනු නිසා ඔවුන් සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වූ බවයි.
මෙම මෙහෙයුම සඳහා ලාන්ස් කෝප්රල් ජී. එස්. අමරසිරි ද, ලාන්ස් කෝප්රල් ජේ. පී. ආරියරත්න හා එක්ව තිබුණා. මෙම දුෂ්කර මෙහෙයුමෙන් පසු ජීවිතයේ සතුට විඳි එම පවුල දැකීමෙන් තමන්ට ද අතිශය සතුටක් ලැබුණු බව ලාන්ස් කෝප්රල් ජේ. පී. ආරියරත්න කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලාන්ස් කෝප්රල් ජේ. පී. ආරියරත්න මෙලෙස අදහස් දැක්වුවා.
වැව පැත්තෙන් අපිට පොඩි සද්දයක් ඇහුනා. ඊට පස්සෙ අපි එතෙන්ට දුවගෙන යනකොට එතන පොඩි එක්කෙනා අඬනවා අම්මා… අම්මා… කියලා. අනේ ස්වාමී, අනේ ස්වාමී කියලා වැව පෙන්නුවා. එතකොට අපිට හිතුනා මෙතන මොකක් හරි සිදුවීමක් වෙලා තියෙනවා කියලා. මොකද අපි දන්නවා එතන අඩි 30 ක විතර ළිඳක් කපලා තිබුණ තැනක්.අපිට හිතුනා කවුරුහරි මේකට වැටිලා කියලා. මමයි තව හිටියා ලාන්ස් කෝප්රල් අමරසිරි කියලා අපි දෙන්න ක්ෂණිකව යුනිෆෝම් එක චේන්ජ් කරගෙන වතුරට පැන්නා.
ඇත්තටම එතන ජීවිත අවධානමක් කියෙනවා කියලා තේරුනා.මොකද එතන මඩ තියෙන තැනක් කියලා තේරෙනවනෙ. කතාවකුත් තියෙනවනෙ දියේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියලා. නමුත් අපිට හිතේ හයියක් ආවා අර දරුවා කෑගහන කොට. අපිටත් මොනවා වුනාත් කමක් නෑ කියලා ක්ෂණිකව ක්රියාත්මක වෙලා වතුරට පැන්නා. පොඩි කාලෙ තිබුනු ආභාෂයත් එක්ක තමයි ඒ දේ සිද්ධ වුනේ.
වතුරත් එක්ක අඩි 15 – 20 ක් විතර යටට ගියා. ඒත් එක්කම අපිත් අඩි 04 ක් විතර මඩේ එරෙන්න ගියා. ඒ වේල්ලෙ කණ්ඩියට එක අඩියක් තියාගෙන අතගානකොට තමයි අහුවුනේ.