අතදරුවෙක් සමග නුගේගොඩ පාරේ ගිය අම්මාටත් ‘ අයුතු යෝජනා කළ’ හමුදා සෙබළුන් තිදෙනා
අතදරුවකු වඩාගෙන සැමියා සමග නුගේගොඩ ෆිල් මාවතේ ගමන් කරමින් සිටි රූමත් කාන්තාවකට අයුතු යෝජනාවක් කර ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොහුවල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළුන් තිදෙනෙකි.
පැමිණිලිකාර කාන්තාව සැමියා හා දරුවා සමග එම ප්‍රදේශයේ උපන් දින සාදයකට සහභාගී වී මධ්‍යම රාත්‍රීයේදී නිවෙස කරා පා ගමනින් යමින් සිටියදී ඉදිරියට පැමිණෙමින් සිටි සැකකාර සෙබළුන් තිදෙනා එම කාන්තාවට අයුතු යෝජනාවක් කර තිබු බව පොලිසිය සඳහන් කළා.
එය කන වැකුණු සැමියා සෙබළු තිදෙනා හා බහින්බස් වීමේදී අවට නිවැසියන් මෙන්ම උපන්දින සාදයට සහභාගී වී නිවෙස් කරා යමින් සිටි පිරිස් එම ස්ථානයට එක්රොක් වී සෙබළු තිදෙනාට පහර දීමට උත්සහ කිරීමත් සමගම එයින් දෙදෙනකු පලා ගොස් තිබු අතර එක් සෙබළකු එම පිරිස විසින් අල්ලාගෙන පොලිසියට භාර දෙනු ලැබු බව පොලිස් නිලධාරීයෙක් සඳහන් කළා.
පොලිසිය මගින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු කොහුවල යුද හමුදා කඳවුරට අනුයුක්ත සෙබළෙකු බවට අනාවරණය වීමෙන් අනතුරුව ඉතිරි දෙදෙනා එම කඳවුරේ අය බව අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
ඒ අනුව එම සෙබළු දෙදෙනා පිළිබඳ යුද හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු එකී සෙබළුන් දෙදෙනා ද පොලිසියට භාරදුන් බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළා.