ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හීදි පැවැත්වෙනවා.
ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සත්කාරක දකුණු අප්‍රිකානු පිලට මෙන්ම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමටද එක ලෙසින් වැදගත් වී තිබෙනවා.
දිවා තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.
තමන්ගේ ක්‍රීඩකයන් කවුරුන් විය යුතුද යන්න සම්බන්ධයෙන් දෙපිලම දෙගිඩියාවෙන් සිටින අතර දකුණු අප්‍රිකානු සංචිතයට තෝරා ගන්නා ලද ක්‍රීඩකයන් 14 දෙනාගෙන් වැඩි පිරිසක් පන්දු යවන්නෝ වනවා.
එහෙත් ඔවුන් තෝරාගනු ලැබ ඇත්තේ පළමු තරග 3 සඳහා පමනයි.
ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් වන අවිශ්ක ප්‍රනාන්දු (72), ඕෂධ ප්‍රනාන්දු (63), කමිඳු මෙන්ඩිස් (නොදැවී 26) සහ ප්‍රියමාල් පෙරේරා (නොදැවී 31) සාර්ථක වීම නිසා පුහුණු එක්දින තරගයේදී ලකුණු 305 ක ඉලක්කයක් සාර්ථකව හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 9 ක් ඉතිරිව තිබියදීම තරගය ජයගත්තා.
ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ උපුල් තරංග තිදෙනාගේ එක්වීම ශ්‍රී ලංකා කණ්ඩායම සවිමත් කළද, ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ තිසර පෙරේරා තරග වදින ආකාරය බලා සිටීමත් උනන්දුව වඩවන්නක් විය හැකියි.
ටෙස්ට් තරගාවලිය පැවැති ඩර්බන් සහ පෝර්ට් එළිසබෙත් නගරවල ක්‍රීඩාංගණ වලට වඩා ජොහැන්නස්බර්ග්, සෙන්චූරියන් සහ කේප් ටවුන් යන නගර වල වඩාත් වේගවත් තණතීරු අපේක්ෂා කළ හැකි අතර මෑතකදී සිය ආබාධ වලින් සුවය ලබා කණ්ඩායමට එක්ව සිටින ලුන්ගි න්ගිඩි සහ ඇන්රිච් නෝර්ජේ වැනි වේග පන්දු යවන්නන් එවන් තණතීරු මතදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වනු ඇති.
තවත් මාස කිහිපයකින් අරඹෙන්නේ තමන්ගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය බව හොඳින්ම දන්නා ඬේල් ස්ටේන් එංගලන්තයට ගුවන් ප්‍රවේශපත්‍රයක් වෙන්කරවා ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත වනු නිසැකය.
මෑත කාලයේදී පරාජයන් වැලක හිමිකරුවා වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සතුටු වීමට ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජය පමණක් වන අතර ගෙවී ගිය මාස 12 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම එකම එක්දින තරගාවලියකින් හෝ ජයගෙන නොමැති වීම කණගාටුවට කරුණක්.
එම මාස 12 ක කාලයේදී සහභාගි වූ එක්දින තරග 15 අතුරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණයි.
ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගාවලියක් ජයගත්තේ 2018 ජනවාරියේදී බංග්ලාදේශ පිලට එරෙහිව බංග්ලාදේශයේදීයි.
ශ්‍රී ලංකා පිලේ අලුත්ම ටෙස්ට් නායකයා වන දිමුත් කරුණාරත්න තරගාවලිය 2-0 කින් ජයගැනීමෙන් පසුව ආපසු සියරට පැමිණි අතර එක්දින පිලේ හිටපු නායක තිසර පෙරේරා සමග පැවැති හීතල යුද්ධයෙන් පසුව නැවත වරක් නායකත්වයේ ඔටුන්න දා ගත් ලසිත් මාලිංගගේ මීළඟ උත්සාහය විය හැක්කේ එක්දින පිලේ නායකත්වයට සුදුස්සා තමන් බව ඔප්පු කිරීමය.
වසර 1992 දී නැවතත් ලෝක ක්‍රිකට් පිටියට පිවිසි දා පටන් දිගින් දිගටම බිඳ වැටෙමින් තිබෙන ලෝක කුසලාන සිහිනය දෙස දෑස් දල්වා බලා සිටින දකුණු අප්‍රිකානුවන්ට නම් වැඩිපුර සිතන්නට දෙයක් නැත.
එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තලා පෙළා දැමීම ඉදිරියේ එන ලෝක කුසලාන තරගාවලියට කදිම පෙරහුරුවකටත් වඩා ටෙස්ට් තරගාවලියේදී ලද නින්දාව වසා ගැනීමටත් ඉවහල් වන කාරණයකි.
ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අකිල ධනංජය, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, තිසර පෙරේරා, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, උපුල් තරංග සහ ඉසුරු උදාන
දකුණු අප්‍රිකානු සංචිතය
ෆෆ් ඩුප්ලෙසි (නායක), ක්වින්ටින් ඩි’කොක් (උප නායක), රීසා හෙන්රික්ස්, ඉම්රාන් තහීර්, ඬේවිඞ් මිලර්, වියාන් මල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝජේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඞ්වේන් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, තබ්රේස් ශම්සි, ඬේල් ස්ටේන් සහ රාසි වැන්ඩර්ඩාසන්
තරග කාල සටහන
මාර්තු 3 – ජොහැන්නස්බර්ග්
මාර්තු 6 – සෙන්චූරියන්
මාර්තු 10 – ඩර්බන්
මාර්තු 13 – පෝර්ට් එළිසබෙත්
මාර්තු 16 – කේප් ටවුන්