එක් දිනකදී ලංකාවේ 76ක් පිළිකාවට ගොදුරු වේ – පියර වර්ග ඇතුළු අලුත් පිළිකාකාරක මෙන්න

ශ්‍රී ලංකාවෙන් දිනකට අලුතින් පිළිකාවන්ට ගොදුරුවූවන් 76 දෙනකු පමණ සොයාගන්නා බව ශ්‍රී ලංකා පිළිකා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පවසනවා.

මේ අනුව පසුගිය වසර (2018) තුළදී ශ්‍රී ලංකාවෙන් පිළිකා රෝගයට ගොදුරු වූවන් 28,000 ක්‌ පමණ සොයාගෙන තිබෙනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය වුණා.

පිළිකාවන්ට හේතුකාරක වන හේතු සාධක නිරතුරුව වැඩි වන තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති අතර පිළිකාකාරක ඇස්‌බැස්‌ටස්‌ සහිත ඇතැම් පියර වර්ග ඒ අතරට එක්‌ව ඇතැයි විදෙස්‌ පර්යේෂණවලදී අනාවරණය වී ඇති බව එම විද්‍යාලයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පවසනවා.

සිරුරෙහි ඇති වන අසාමාන්‍ය සෛල වර්ධනයක්‌ මත හටගන්නා පිළිකාවන් මුල් අවස්‌ථාවේදී හඳුනාගැනීමෙන් ඒවා සුව කිරීමේ හැකියාව වැඩි බවත් මුඛ පිළිකා සහ පියයුරු පිළිකාවන්ට ගොදුරුවන්නන් වැඩි වෙමින් පැවතීම නිසා ඒ පිළිබඳව ජනතාවගේ වැඩි අවධානය යොමු විය යුතු බවත් ඔහු සඳහන් කළා.

පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය නුරාඩ් ජෝෂප් මහතා ඇතැම් වෛද්‍යවරුන් බුලත් විටක්‌ සෑම අංගයක්‌ම පිළිකා කාරක ද්‍රව්‍ය යයි නම් කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකාකාරක වශයෙන් හඳුනාගෙන ඇති ද්‍රව්‍ය 120 අතර බුලත් කොළ හා හුණු නොමැති බවත් ඇත්තේ දුම්කොළ හා පුවක්‌ පමණක්‌ බවත් සඳහන් කළා.

කෙසේ වුව ද හුණු නිතර බුලත් විට සමඟ සැපීමෙන් මුඛය තුළ තුවාල ඇතිවන බවත් එය පිළිකාවන්ට ගොදුරු වීමට මඟ හදන බවත් වෛද්‍ය ජෝෂප් පෙන්වා දෙනවා.

මෙරට සිදුවන මරණවලට හේතුවන දෙවැනි ප්‍රධාන සාධකය පිළිකාවන් බවට පත්ව ඇති අතර පිළිකාවන් පැතිරීම වැළැක්‌වීම සඳහා ජනතාවගේ වැරැදි ජීවන රටාවන් වෙනස්‌ කිරීමට පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇතැයි හෙතෙම අවධාරණය කර සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *