සිවුර හැරගිය පුද්ගලයෙකු පාදක කර ගනිමින් රචිත ප්‍රබන්ධ කෙටිකතාවක ලේඛකයා බන්ධනාගාර ගත කිරීමත් සමග භාෂණයේ නිදහස සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සංවාදයක් මතුව තිබෙනවා.
2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 09 වෙනිදා තෙක් බන්ධනාගාර ගත කෙරුණා.
අදාළ ලේඛකයා සම්බන්ධයෙන් පෙබරවාරි මස පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඔහුගේ නිර්මාණ බුද්ධ චරිතයට නිගා දෙන බවට චෝදනා කර තිබුණා.
බුද්ධ ශාසනය කෙරෙහි ද්වේශසහගත අරමුණින් එකී නිර්මාණය පෙළ ගස්වා ඇති බව පවසන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය එය “සමස්ත බෞද්ධ ප්‍රජාවගේම සිත් රිදීමට” හේතු වී ඇතැයි සඳහන් කළා.
කෙසේ නමුත් ලේඛකයා අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස අහුරා දැමීමක් බව ඇතැම් කලාකරුවන් සහ මාධ්‍ය සංවිධානවල අදහස වී ඇති අතර අදාළ කෙටි කතාව මගින් බුද්ධ දර්ශනයට හානියක් සිදු වී නොමැති බවට තවත් සමහරෙක් තර්ක කරනවා.