ගිනි ගැනීමට ලක්වූ New Diamond නෞකාව මුදා ගැනීම සඳහා සිදු කළ වියදම් ඇස්තමේන්තුව පියවා ගැනීම සඳහා නෞකාවේ අයිතිකරුවන් වෙත නීතිපතිවරයා ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා.
නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 340ක වන්දි මුදලක් ඉල්ලා ඇති බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාර්ඩ් සමාගම, මීපා ආයතනය සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සියලු පාර්ශව ගිනි නිවීමට දැක්වූ සහයෝගය සහ වැය වූ වියදම් පියවා ගැනීම මෙහි අරමුණයි.
මේ අතර, සමුද්‍රීය පරිසරයට සිදුවූ හානි ගණනය කර පූර්ණ ඇස්තමේන්තුවක් සකස් කර වියදම් පියවා ගැනීමට ක්‍රියාකරන බව ද ඇය පැවසුවා.
කෙසේ වෙතත්, එම පූර්ණ ඇස්තමේන්තුව සකස් කර ඉදිරිපත් කළ හැක්කේ, නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතට ගෙන ගිය පසු බව ද නිශාරා ජයරත්න සඳහන් කළා.