ලංකාව ඉන්දියාවට දුන්නේ ‘අංගොඩ ලොක්කාගේ ‘ අපැහැදිලි ඇඟිලි සළකුණු !

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉන්දියාවට ලබා දෙන ලද අංගොඩ ලොක්කාගේ ඇඟිලි සලකුණ පැහැදිලි නොමැති බව ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එරට මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සමග පවසා ඇත්තේ, අංගොඩ ලොක්කාගේ එක් ඇඟිලි සලකුණක පිටපතක් ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු බවයි.

එම ඇඟිලි සලකුණ පැහැදිලි නොවන හෙයින් යළිත් අංගොඩ ලොක්කාගේ ඇඟිලි සලකුණු කිහිපයක් එවන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, අංගොඩ ලොක්කා 2017 වසරේදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් එම අවස්ථාවේදී ඔහුගේ ඇඟිලි සලකුණු සටහන් තබා ගත් බවත් ඉන්දීය රහස් පොලිස් නිලධාරියා පවසා තිබුණා.

2017 වසරේදී ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පළා ගිය අංගොඩ ලොක්කා 2017 ජූනි 09 වන දා චෙන්නායි නාගරික පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.

එහිදී ගනු ලැබූ ඇඟිලි සලකුණු සමග සන්සන්දනය කර අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා.

“අපිට ආපහු අංගොඩ ලොක්කාගේ ඇඟිලි සලකුණු ලැබුණොත් ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගන්න පුළුවන්,” අදාළ නිලධාරියා සඳහන් කරනවා.

මේ අතර, කොයිම්බතූර්හි රැඳී සිටි කාලයේ අංගොඩ ලොක්කා සතුව තිබූ බව කියන ගිනි අවිය මදුරෙයිහිදී චානුක නමැත්තෙකු අතට භාර දී ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් අදාළ නිලධාරියා සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *