ශ්‍රී ලංකාවේ පළමු වරට එකම මුස්ලිම් අමාත්‍යවරයකුවත් නොමැති කැබිනට් මණ්ඩලයක් (Photos)

අද (22) පත් කෙරුණු කැබිනට් මණ්ඩලයේ එක් විශේෂත්වයක් වන්නේ එහි කිසිදු මුස්ලිම් අමාත්‍යවරයකු අඩංගු නොවීමය.

අමාත්‍යවරුන් වශයෙන් පත් කෙරුණු 15 දෙනා අතරින් දෙමළ ජාතිකයින් දෙදෙනෙකු සිටින නමුත් එකදු මුස්ලිම් දේශපාලනඥයකු හෝ කැබිනට් මණ්ඩලය සඳහා නව රජය විසින් පත්කර නොමැත.

නව රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව මුස්ලිම් මන්ත්‍රීවරුන් නොමැති වීම මීට මූලිකවම බලපා ඇති බව පෙනෙන නමුත් ඔවුන්ගේ හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන මුස්ලිම් මන්ත්‍රීවරයකු පවා සිටී.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රට තුළ උද්ගත වූ තත්වය හමුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් තාවකාලිකව තනතුරුවලින් ඉල්ලා අස්වූ අවස්ථාවේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ නිදහසින් පසු පළමු වරට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් නොමැති කැබිනෙට්ටුවක් නිර්මාණය වී ඇති බවත් එය රටට අහිතකර තත්වයක් බවත්ය. ඒ අමාත්‍යවරු පසුව තනතුරු යළි බාරගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිදහසින් පසු කිසිදු මුස්ලිම් නියෝජනයක් නොමැතිව පත් කෙරුණු එකම කැබිනට් මණ්ඩලය යනු අද දිනයේ පත් කෙරුණු නව කැබිනට් මණ්ඩලය බව පෙනේ.