සුපිරි පන්දුවාරය කමිඳුට නොදුන්නේ ඇයි?. අද තරගය තීරණාත්මකයි

සුපුරුදු සටන්කාමී ක්‍රීඩා විලාශයට නැවත අවතීර්ණ වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ජයග්‍රහණයක් අත්කරගැනීමේ බලාපොරොත්තුවෙන් අද (22) සෙන්චූරියන් නුවරදී දෙවැනි විස්සයි20 තරගයට එක්වනවා.

ලකුණු සමවීම හේතුවෙන් සුපිරි ඕවරය දක්වා ඇදි ගිය කේප්ටවුන් නුවර පැවැති පළමු තරගයෙන් සියුම් පරාජයක් අත්විඳීමට සිදුවූවත් අද තරගයේදි සිය සටන්කාමීත්වය නැවත පෙන්නුම් කරමින් තව දුරටත් තරගාවලියේ රැඳී සිටීම නායක ලසිත් මාලිංගගේ අරමුණ වී තිබෙනවා.

දකුණු අප්‍රිකාව හමුවේ තරග 5-0කින් පරාජය වීමේ වේදනාව අමතක කරමින් ශ්‍රී ලංකා පිල විස්සයි20 තරගයට උපේක්සා සහගතව එක්වූවද ඉන් පරාජය වීම නිසා දැන් පසුවන්නේ 1-0ක් ලෙස දකුණු අප්‍රිකාවට වඩා පසුපසිනුයි.

අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට තීරණාත්මක වන අතර ලබන 24දා පැවැත්වෙන අවසන් තරගයට පෙර 1-1ක් ලෙස තරගාවලිය සමකර ගැනීමට හැකි සියලු උත්සාහයන් දරනු ඇති.

යොවුන් ක්‍රීඩකයන් රැසක් ඇතුළත් කරමින් පළමු තරගයට එක්වූ ශ්‍රී ලංකා පිලට එවැනි තියුණු තරගයක් ජයගැනීමට තරම් ප්‍රමාණවත් අත්දැකීම් ‍නොතිබුණ ද ජයසම්පන්න බවින් යුතු තරුණ ක්‍රීඩකයන්ගෙන් ලද දායකත්වය නායක මාලිංගගේ දැඩි පැසසුමට ලක්ව තිබෙනවා.

දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් අවශ්‍ය වී තිබූ ඉසුරු උදාන යැවූ අවසන් ඕවරයේ අවසන් පන්දුවෙන් ඉම්රාන් තාහීර් දුවද්දී දවාලීමට කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලට ලැබුණු පහසු අවස්ථාව ඔහුගෙන් මඟ නොහැරුණානම් සුපිරි ඕවරයට නොයා එක් ලකුණකින් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව හිමි වනවා.

සිය දෙවැනි විස්සයි20 තරගයට ක්‍රීඩා කළ 20 හැවිරිදි වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් එම තරගයේදි මැදපෙළ පිතිකරුවකු ලෙස කටයුතු කරමින් පන්දු 29කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමග ලකුණු 41ක් රැස් කොට ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වුණා.

සුපිරි ඕවරයට මුහුණ දීමට අවිශ්ක ප්‍රනාන්දු සමග තිසර පෙරේරා පිටියට නොයවා ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ කමිඳුට අවස්ථාවක් ලබා දුන්නේ නම් ප්‍රතිඵල සාර්ථක වීමට ඉඩ තිබූ බවයි විචාරකයන් පවසන්නේ.

කෙසේ වෙතත් අද තරගයේදි ද කමිඳුට වැඩි කාර්යභාරයක් පැටවෙනු ඇති.

නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් එම තරගයේදි ලකුණු නොලබා දැවීයාම නිසා අද තරගයේදි ශ්‍රී ලංකා පිලේ පිතිකරණ අංශය ශක්තිමත් කිරීමට සධීර සමරවික්‍රම කැඳවීමට ඉඩ ඇතැයි දකුණු අප්‍රිකාවෙන් වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *