දියණියගේ ඉල්ලීම ඉටු කරන්න නොහැකි වීම ගැන කණගාටුයි – ක්‍රිකට් පිටියෙන් සමුගත් ධම්මික කියූ දුක හිතෙන කතාව

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට යළි ක්‍රීඩා කරන්න යැයි තම දියණියගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන්ගේ සිතේ කනගාටුවක් පවතින බවත්, එහෙත් ඕනෑම ක්‍රීඩකයෙකු නියමිත කාලයේදී සමුගෙන යා යුතු බවත් හිටපු ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර පිටියෙන් සමු ගනිමින් ප්‍රකාශ කළේය. ධම්මික ප්‍රසාද්ගේ ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමේ නිල උත්සවය ඊයේ (18දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික ප්‍රසාද්.

“මම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා. එහෙත් මම තව අවුරුදු දෙකක් හෝ තුනක් මෙරට දේශීය ක්‍රිකට් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියන්න ඕන මම අවුරුදු ගණනාවක් ක්‍රීඩා කළ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය වෙනුවට වෙනත් පොඩි ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මට අවශයි මගේ දැනුම තරුණ ක්‍රීඩකයන්ට ලබාදෙන්න. ඒ වගේම පුහුණුකරුවෙකු ලෙසත් ඉදිරියේදී මගේ දැනුම තරුණ ක්‍රීඩකයන්ට ලබාදෙන්න කටයුතු කරනවා. මට මගේ ජීවිතයේ කනගාටු වෙන්න කිසිදු කරුණක් නැහැ. එහෙත් එක පොඩි කරුණක් විතරක් කියන්නම්. මම ආබාධයකට ලක්වෙලා මගේ උරහිසේ ශල්‍යකර්මයක් කරලා තියෙද්දී මගේ දෝණි මට කිව්වා තාත්තා ආයෙත් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න ඕන කියලා. එහෙත් මට ඒදේ දුව වෙනුවෙන් කරන්නට නොහැකි වීම සම්බන්ධයෙන් කනගාටුවක් තිබෙනවා.

2001 වසරේ මම ක්‍රිකට් පිටියට ආවේ. අපිට දවසක් එනවා සමුගත යුතු. ඒ වෙලාවේ සමුගත යුතුයි. මම වෙනුවෙන් සහය දැක්වූ සියලුදෙනාටම මගේ හදවතින්ම සුභ පතනවා. මට මේ සියලු දේ ලැබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිසයි. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මගේ සේවය අවශ්‍ය ඕනෑම වෙලාවක මම සේවය ලබාදෙන සුදානම්, මාව මේ තත්වෙට ගෙන්න මගේ මව, පියා, සහෝදරයා, බිරිඳ ඇතුළු පවුලේ අය සෑහෙන්න කැපකිරීම් කළා. ඒ සියලු දේවල්වලට බොහොමත්ම ස්තුතියි’ යනුවෙන් පවසා සිටියේය.

ධම්මික ප්‍රසාද්ගේ සමු ගැනීම ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මාවන් අතපත්තු සහ රංගන හේරත් සහභාගී වී සිටියේය. ධම්මික ප්‍රසාස් සමු ගැනීමේ උත්සවය සඳහා එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මහින්ද හලංගොඩ ඔහුගේ පාසල්දිවියේ සිට ජාත්‍යන්තර මට්ටම දක්වා රැගෙන ආ පුහුණුකරුවන් මව, පියා, බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.

– පැතුම් ශ්‍රී විජේරත්න-

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *