ලංකාවේ ඇල්ලූ ලොකුම හෙරොයින් තොගයේ ඡායාරූප මෙන්න (PHOTOS )

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී කොල්ලුපිටියෙන් සොයාගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව පොලිසිය විසින් අද (24) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 43 සහ 32 හැවිරිදි පානදුර කෙසෙල්වත්ත පදිංචිකරුවන්.

කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක වාහන ගාල් කරන ස්ථානයකට ඊයේ (23) සවස වෑන් රථ දෙකකින් මෙම හෙරොයින් තොගය ගෙනැවිත් තිබුණා. එහි එක් වෑන් රථයක විශාල ප්‍රමාණයේ ගමන් මලු 05 බැගින් ගමන් මලු 10ක් තිබූ අතර ඒ තුළ සූක්ෂම අයුරින් මෙම හෙරොයින් අසුරා තිබුණා. ඒ පාර්සල් 272ක් වශයෙන්. ජාවාරම් කටයුත්තක් සඳහා මෙම හෙරොයින් තොගය එම ස්ථානයට රැගෙන විත් තිබූ බවයි මේ වන විට අනාවරණය වී තිබෙන්නේ.

අදාළ වෑන් රථ දෙක සමගින් සැකකරුවන් දෙදෙනෙකු එම අවස්ථාවේදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙකු වන්නේ අංක 27, ගමමැද්ද පාර සරික්කමුල්ල කෙසෙල්වත්ත පානදුර ලිපිනයේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් අජ්මීර් නැමැති පුද්ගලයෙක්. අනෙක් සැකකරු කෙසෙල්වත්ත පානදුර පදිංචි මොහොමඩ් රිලා අහමඩ් රුස්නි නැමැත්තෙක්.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ, හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අදාළ හෙරොයින් තොගය මෙම සැකකරුවන්ට ලැබුණු ආකාරය පිළිබඳවත් එම හෙරොයින් තොගය මෙරටට රැගෙන පැමිණි ආකාරය පිළිබඳවත් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් දෙදෙනා දින 07ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවද පැවසුවා.

විශේෂයෙන් මෙවැනි ජාවාරම් පිළිබඳව පොලිසියට තොරතුරු ලැබෙන්නේ මහජනතාවගෙන් බවත් ජනමාධ්‍ය මගින් ඒ පිළිබඳව නිරන්තරයෙන් වාර්තා කිරීමත් නිසා ජනතාව දැනුවත්ව සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.

මේ වන විට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකුගේ මත්ද්‍රව්‍යවලින් උපයා ගන්නා දේපළ රාජසන්තක කිරීම සඳහා විමර්ශන ක්‍රියාවලියක් ක්‍රියාත්මක බවද සඳහන් කළා.

ඉදිරියේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් වී මහාධිකරණවලින් වැරදිකරුවන් වී අභියාචනාධිකරණයේදීත් ඒ වැරදිකරුවීම ස්ථීර කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා දීම අරමුණ වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.

එහිදී ලබාගත් හෙරොයින්වල සහ ඒවා ගෙන ඒමට කටයුතු කළ වෑන් රථ දෙකෙහි ඡායාරූප මේ සමග දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *