ඇසිපිය නොගසනවා නම් සිතෙන්නේ ශ්රී දේවිය මිහිබට සුරඟනක කියාය. සිනමාගාරයේ සිටින රසිකයන් ඇය ගේ රංගනයන් ඉදිරියේ ඇසිපිය නොගසාම සෙල් පිළිම බවට පත්වෙයි. අජීවී කැමරාව ද ශ්රී දේවිය කේශාන්තයේ සිට පාදාන්තය දක්වා කරන රංගනයෙන් ජීවී බවට පත්වෙයි. ඇය අසමසමය. සියක් වසරක සිනමාවේ විශිෂ්ටම නිළිය ලෙස ඇය 2013 වසරේ CNN – IBN මඟින් කළ ඡන්ද විමසීමේදී අබිසෙස් ලැබුවේ එනිසාය.
බොලිවුඩයේ පළමු සුපිරි තාරකාව, එදා මෙදා තුර රඟන සිනමා පටයකට වැඩිම මුදලක් අය කළ බොලිවුඩ් නිළිය, දශක දෙකක් අංක එකේ තැන රැකගත් එකම තැනැත්තිය, විවිධ රංග විලාසයන් අසමසම ප්රතිභා වෙන් විචිත්ර කළ ප්රභාවන්තිය ඇයය. නළුවන්ට තිරපිටපත් ලියැවෙණු සිනමාවක ඇය නිසා මුලින්ම පිටපත් ලිවීම ඇරැඹුණි. රඟන චරිතයෙන් තෘප්තියක් නොලැබෙන්නේ නම් ප්රධාන නළුවා අමිතාබ් බච්චන් වුවද අධ්යක්ෂවරයා ස්පීල්බර්ග් වුවද ඇය ඒ සිනමා පටය ප්රතික්ෂේප කළාය.
දරුවන් ලබා රංගනයට පිවිසි තාරකාවන් අතරින් සාර්ථක වූ එකම නිළිය ද ඇයයි. යළි කෙදිනකවත් ඉන්දීය සිනමාවට ඇය වැන්නියක දායාද වන්නේ නැති බවට ඉතිහාසය සාක්ෂි දරන්නේය. තුන්සිය වැනි සිනමා නිර්මාණය මම්ට 2017දී දායකවූ පසු කලන්ක් සහ ශ්රී දේවරාගම් සිනමා පටවල රඟ පෑමට ශ්රී අස්සන් තබා සිටියාය.
ඇයගේ විශිෂ්ට රංගනයන් දැක බලා ගැනීමට රසිකයන් පුල පුලා බලා සිටියදී ජීවිතයේ පනස් හතරවැනි වියේදී නොසිතූ මොහොතක ශ්රී දිවියෙන් සමු ගත්තාය. ඒ හරියටම අදින් වසරකට පෙරදීය. එනම් 2018 වසරේ පෙබරවාරි 24 වැනිදාය. තවමත් එදා මෙන්ම සිනමා පටයක ශෝකාන්තයක් මෙන් රසිකයන්ගේ හද රිදවන ඇය පිළිබඳ මතකයන් බොහෝය.
ශ්රී දේවි බංග්ලෝ සිනමා පටය වේදනාකාරී මතකය තවදුරටත් පාරා තිබේ. ඒ සිනමා පටයෙන් කියැවෙන්නේ හුදෙකලාවී නාන බේසමකට වැටී මියයන ශ්රී දේවි නම් තාරකාවකගේ ජීවන පුවතයි. මෙයින් මිය ගිය අග්රගණ්ය රංගන ශිල්පිනියට අගෞරවයක් සිදුවන බවට රසිකයන් චෝදනා කරන අතර ශ්රී ගේ සැමියා බොනි කපූර් ද සිනමා පටය තිරගත කිරීමට එරෙහිව නඩු මඟට පිවිස සිටියි. සිනමා පටය ශ්රී ගේ ජීවිත කතාව ලෙස ප්රසිද්ධ කර නොතිබුණ ද සිනමා පටයේ චරිතයේ සහ ශ්රී දේවියගේ චරිතයේ බොහෝ සමාන කම් ඇති බව කියැවෙයි. එය කෙසේ වුව ද ශ්රී දේවිය යනු අදටත් ක්ෂේත්රයේ බහුතරයකගේ හදවත්හි ජීවත්වන චරිතයකි.
ශ්රී ට වඩා සත් වසරකින් වැඩිමල් අනිල් කපූර් කොතැනකදී ඇය දුටුව ද ඇයගේ දෙපා ස්පර්ශ කිරීමට අමතක නොකළේය. ඇය ඔහුගේ මෙන් පුරුද්දට කොතරම් එරෙහි වුව ද අනිල් නොවරදවාම එසේ කෙළේය. ඇය ගේ අසීමිත වූ රංගන කුසලතාව ඊට හේතුවයි. අනිල් ඇය සමඟ සිනමා පට රැසක රඟපෑ අතර තමන් නොසිටිය ද ශ්රී දේවි පමණක් රඟන ජවනිකා යළි නැරඹීමේ පුරුද්දක් තිබී ඇත. ඒ ඇයගේ රංගන ප්රතිභාව අත්විඳීමටයි. බොනි පළමු බිරිය මොනා කපූර් අත්හැර ශ්රී දේවියගේ අත ගනිද්දී අනිල්ගේ බිරිය සුනීතා, මලණුවන්වූ සංජේ කපූර් මෙන්ම බොනීගේ නැඟණිය ද ඇයට සහාය දී තිබේ.