ශ්‍රී ලන්කන් CEO ගේ පඩිය ලක්ෂ 30යි

2015 වසරෙන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා රුපියල් ලක්ෂ 30ක මාසික පඩියක් ලබාගෙන ඇති බවත් ඉහළ කළමනාකරුවන් 7කගේ මාසික පඩිය ලක්ෂ 20ට වැඩි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

එසේම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාසික පඩිය ලක්ෂ 20ක් ගන්නා සේවකයන් 38ක්ද, ලක්ෂ 10ක මාසික පඩියක් ලබාගන්නා සේවකයන් 209ක්ද සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙයින් බහුතරයක් ගුවන් නියමුවන් බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව කෝප් කමිටු පරීක්ෂණයක තොරතුරු පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මිලදී ගැනීමට නියමිතව තිබූ ගුවන් යානයකට විශේෂිත පුද්ගලයන්ගේ කාමර කට්ටලයක් සකස් කිරීමට තීරණය කර තිබුණේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව හඳුන්නෙත්ති මහතා පැවැසීය.

ඒ සඳහා වැය කිරිමට නියමිතව තිබූ මුදල ඩොලර් මිලියන 15ක් බවද ඔහු පැවැසීය.

එසේම එවකට කථානායක ධුරයේ කටයුතු කළ චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වා ඇති බවත් ඔහු පැවැසීය.

සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හෝ ශ්‍රී ලන්කන් කාර්යාලයේ බවත් ඔහු පැවැසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා මිලදී ගැනීමට ඇතිකරගත් ගිවිසුමත් එය අවසන් කළ ගිවිසුමත් දූෂිත බව ඔහු සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *