මහේල ‘අගමැතිට කිව්ව කතාව ‘ පසුපස රහසක්

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් රට තුළ ඇති වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් පසුගියදා අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිදු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝනලයට ලක්ව තිබෙනවා.

එහිදී මහේල ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නඟා සිටුවීමට නම් කළ යුත්තේ නව ක්‍රීඩාංගණ ඉදි කිරීම නොව පාසල් ක්‍රිකට් ක්‍රීඩාන නඟා සිටුවීම බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර කිහිපය පුරා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමට කිසිවක් සිදු නොකළ බවද මහේලගේ අදහස වුණා.

රටක ඕනෑම ක්‍රීඩාවක් නඟා සිටුවීමට නම් එය රට පුරා ව්‍යාප්ත කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.

සාකච්ඡාවේදී මහේල පැවසූ තවත් කාරණයක් වූයේ පසුගිය වසර කිහිපය පුරාම ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් බොහොමයක් පිට පළාත්වලින් පැමිණි ක්‍රීඩකයන් බවයි.

පිට පළාත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වී නොතිබුනේ නම් එම ප්‍රදේශ තුළින් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් පැමිණියේ කෙසේදැයි යන්න බොහෝ දෙනාගේ ප්‍රශ්න කිරීමට ලක්ව තිබෙනවා.

2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දැරූ අතර 2012 වසරේ වි/20 ලෝක කුසලාන තරගාවලියේදී සත්කාරකත්වය දැරීය.

ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකක් අළුතින් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ අතර එම ක්‍රීඩාංගණ දෙකම ඉදි කරනු ලැබුවේ කොළඹින් බොහෝ දුර බැහැරයි.

ඒ හම්බන්තොට සූරියවැව සහ මහනුවර පල්ලෙකැලේයි.

ඒ හරහා එම ප්‍රදේශවල පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සිදුවූ මෙහෙය අති විශාලය.

පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්තාවන්ට අනුව ආදායමෙන් 15%ක් වැය කර ඇත්තේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනුයි.

එහිදී ප්‍රධාන වශයෙන්ම අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ට සමස්ථ තරගාවලියටම ප්‍රමාණවත් වන පරිදි ක්‍රිකට් පන්දු 8000 ක් බෙදා දීම, මෙරට ප්‍රමුඛ පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 32 කට එක් යන්ත්‍රයකට ලක්ෂ 8 කට ආසන්න මුදලක් වැය කරමින් වූ ටර්ෆ් කටර් යන්ත්‍ර බෙදා දීම සිදුකර තිබෙනවා.

මහේල ක්‍රිකට් අකුරු කරවූ පාසල වන නාලන්දා විදුහලටද එම ක්‍රීඩා උපකරණ බෙදා දී තිබෙනවා.

දිස්ත්‍රික්, පළාත් සහ ජාතික පාසල් කණ්ඩායම් සංවර්ධනය කිරීම සඳහා පූර්ණකාලීන පුහුණුකරුවන් 35 දෙනකු යෙදවීමට කටයුතු කර ඇති අතර එය අධීක්ෂණය කිරීම සඳහා අනුර තෙන්නකෝන්, රෝයි ඩයස් සහ ශ්‍රීනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙත පවරා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම් කළ සියළුම පාසල් සඳහා රෝලර්, කවර්, මැටින්, හතරේ සීමා සලකුණු කරන ලණු මෙන්ම ලකුණු සටහන් කරුවන් සඳහා ගාස්තු ලබා දීමද ක්‍රිකට් ආයතනය විසින් සිදු කර තිබුණා.

එමෙන්ම දිවයින පුරා පාසල් ක්‍රිකට් ක්‍රීඩාංගණවල තණතිලි සහ පැති තණතිලි නඩත්තු කිරීම සඳහා ඒ පිළිබඳ විශේෂඥයන්ගේ සහායද පාසල් වෙත ලබා දී ඇති බව සඳහන්.

මහේලම ප්‍රකාශ කළ ආකාරයට පසුගිය වසර කිහිපය මුලුල්ලේ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් බොහොමයක් පැමිණ ඇත්තේ පිට පළාත් නියෝජනය කරමිනි. නමුත් එය සිදුවූයේ මැජික් එකක් හෝ අහම්බයකින් කියා කිසිවකු සිතන්නේ නම් එය වැරැදි අදහසකි.

ශ්‍රී ලංකාව පුරා පළාත් ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථාන හතරක් (කොළඹ, ගාල්ල, දඹුල්ල, මහනුවර) බිහි කළ අතර පළාත් තරගාවලි හරහා තෝරාගත් දක්ෂයන්ගෙන් සැදුම්ලත් අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ ජාතික සංචිත සඳහා ප්‍රවීණ පුහුණුකරුවන්ගේ සහාය ලබා දී තිබෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විශේෂ කාර්යසාධන මධ්‍යස්ථානයක් ඉදි කරනු ලැබුවේද විශේෂයෙන්ම පාසල් ක්‍රීඩකයන් වෙනුවෙන් නොවේද යන්න ද ඇතැමුන් ප්‍රශ්න කර සිටිනවා.

කොළඹ නගරයට ආසන්නව තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක අවශ්‍යතාව දැනී ඇත්තේද මේ වන විට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉඩ කඩ ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවිනි.

මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සහ පයාගල සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කරනු ලැබුවේ මුළුමනින්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණෙන් වන අතර ඊට අමතවර යාපනය දිස්ත්‍රික්කයේ ඉදි කළ මුල්ම ටර්ෆ් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්ද මේ වන විට අවසන් වී තිබෙනවා.

මේ සියළු කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ පසුගිය කාලය පුරා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටු වීම වෙනුවෙන් කිසිවක් සිදු නොකළ බවට කිසිවකු පවසන්නේ නම් එය පිළිගැනීම අපහසු කරුණක් වනවා.

මහේල එලෙස පැවසීමට එක් හේතුවක් වන්නේ ඔහුගේ ප්‍රමුඛත්වයෙන් ඉදිරිපත් කළ ක්‍රිකට් දියුණු සඳහා වූ යෝජනාවලිය ක්‍රියාත්මක නොවූ නිසා ද යන්න රහසකි.

නමුත් පසුගිය කාලයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කර ඇති සැලසුමෙන් එහා ගිය දෙයක් එම සැලැස්මේ සඳහන්ව තිබේද යන්න ප්‍රවීන ක්‍රීඩකයන් ප්‍රශ්න කර සිටිනවා.

(සංවාදයට විවෘතයි )

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *