කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙකු එස් ටී එෆ් දැලේ

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පොලිස් නිලධාරියෙකු STF නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊට පෙර වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අනාවරණය කරතිබූ තොරතුරුවලට අනුවය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක පොලිස් නිලධාරියෙකි.

ඔහු පැලියගොඩ අධිවේගී මාර්ග පොලිස් මුරපොළ රාජකාරී සඳහා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ පොලිස් නිලධාරියා සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 191ක් සොයාගෙන ඇත.

සැකකාර පොලිස් නිලධාරියාව වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල දළ වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසීය.

මීට අමතරව මෙම අත්අඩංගුවට ගැනීමේදී ජංගම දුරකථන 02ක් සහ යතුරුපැදියක් ද STF නිලධාරීන් භාරයට ගෙන තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (25) මට්ටක්කුලිය පොලිස් වසමේදී වැටලීමක් සිදුකර තිබූ අතර එහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

පළමු සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 542ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගැනීම සිදුවෙන අවස්ථාවේදී ඔහු ඒවා ප්‍රවාහනය කරමින් සිට තිබේ.

සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක පුද්ගලයෙකි.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.ජේ.එස්. සිල්වෙස්ටර් මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණි.

ඒ විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *