මහජන බැංකුවේ සභාපති මහ බැංකුවේ නියෝග කඩකරලාද ?

මහජන බැංකුවේ වත්මන් සභාපති සුජීව රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් ද නොතකා හරිමින් ඔහු ප්‍රධානියා ලෙස කටයුතු කරන BDO Partners විගණන සමාගමට රු.මිලියන 23ක ණය මුදලක් ලබා ගෙන ඇති බවට පසුගිය දිනවල විශාල කතා බහකට ලක් වී තිබුණි.

එහි තවත් පියවරක් ලෙස පසුගිය 01 වැනි දින සමඟි තරුණ බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මයන්ත දිසානායක මහතා ප්‍රමුඛ පිරිසක්ද ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණියේ මේ කාරණය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පැමිණිල්ලක් භාර දීමටය.

මයන්ත දිසානායක මහතාද චෝදනා කළේ බැංකුවේ රෙගුලාසි අභිබවා සභාපතිවරයාගේ බලය භාවිතා කරමින් අක්‍රමවත් ලෙස රු.මිලියන 23ක ණය මුදලක් තමන්ගේ සමාගම වෙත ලබා ගෙන ඇති බවය.

මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයාට එරෙහිව මෙලෙස චෝදනා නැගෙන්නේ ඔහු බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ණය කමිටුවේ අනුමැතියකින් තොරව සිය නිල බලයෙන් එම ණය මුදල ලබා ගෙන ඇති බව පවසමිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ හා පෞද්ගලික වාණිජ බැංකුවලට ලබාදී ඇති උපදෙස්වලට අනුව, එවැනි බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ඔහුට හෝ පවුලේ ඥාතියකු හෝ හිතවතකුට සිය බැංකුවෙන් ණය මුදලක් ලබා ගන්නේ නම්, අනිවාර්යයෙන්ම සුරැකුම් ඉදිරිපත් කිරීම අනිවාර්ය වුවත් මෙම ණය මුදල ලබා දීමේදී එවැනි කිසිම සුරැකුමක් ලබාගෙන නොමැති බවද මෙහිදී සුජීව රාජපක්ෂ මහතාට නැගෙන චෝදනාවකි.

ඒ අනුව සැබෑ ලෙසම මහජන බැංකුවේ සභාපතිවරාය අරඹයා කතා බහට ලක්ව තිබෙන මෙම කාරණයේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා අප දින කිහිපයක්ම මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතාද සම්බන්ධ කරගත්තද ඔහුගේ පැවති කාර්ය බහුලත්වය නිසා එම කාරණය සම්බන්ධයෙන් බැංකුව පාර්ශවයෙන් සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව දැන ගැනීමට නොහැකි විය. එමෙන්ම ඒ ගැන තොරතුරු දැන ගැනීම සඳහා බැංකුවේ තවත් ඉහළ නිලධාරියෙක් සම්බන්ධ කරන බවට කොඩිතුවක්කු මහතා පැවසුවද එම අවස්ථාවද ඉටු නොවුණි.

මහජන බැංකුවේ සභාපතිවරයා සම්බන්ධයෙන්, ඔහුගේ අක්‍රමිකතාවක් බව පැවසෙන කාරණයක් සම්බන්ධයෙන් එලෙස සැබෑ තොරතුරු ලබා දීම බැංකුව විසින්ම මඟහැර යන්නේ නම් එය අපට කම් නොවේ. එහෙත් ප්‍රශ්නය වන්නේ බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටියදී ණය කමිටුවක් සිටියදී එලෙස අනුමැතියකින් තොරව සභාපතිවරයෙකුට සිය පෞද්ගලික සමාගමක් වෙනුවෙන් මෙලෙස නිල බලය භාවිතා කර රු. මිලියන ගණනක විශාල ණය මුදලක් ලබා ගත හැකිද යන්නයි.

එහි කුමන හෝ ඝට්ටනයක් තිබුණේ නම් එයට එරෙහි වීමට හෝ අඩුපාඩුවක් පැවතියේ නම් එම අඩුපාඩුව සම්පූර්ණ කරගැනීමට බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය කටයුතු කර නැද්ද? මේ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් යම් උපදෙස් ගැනීමක් කර තිබෙනවාද? සුජීව රාජපක්ෂ මහතා ප්‍රධානත්වය දරන එකී විගණන සමාගම යම් පැහැර හැරීමක් කර ඇත්නම් ඒ ගැන හෙළි කිරීමට හෝ කටයුතු නොකරන්නේ මන්ද? මේ කිසිදු ප්‍රශ්නයකට මහජන බැංකුව පාර්ශවයෙන් පිළිතුරු නොදී මයින හමට තලනවා සේ සභාපතිවරයා සිය නිල බලය යොදාගෙන ඔහුගේම සමාගමට මෙපමණ නායක ගෙන තිබෙන බවත් එය අක්‍රමවත් පටිපාටියකින් සිදුව ඇති බවටත් වන චෝදනා වල තවදුරටත් වලංගුභාවයක් තිබේද?

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *