මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක, කොස්ගොඩ සුජී, පොඩි ලැසී ආදීහු සැලකෙන්නේ දකුණේ පාතලේ රජ පරම්පරාව ලෙසය. ඒ පරම්පරාව බැලමෙහෙවරකම් කළ දාසයෙක් වූයේ සන්ෂයින් සුද්දාය. ඔහු මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි ගෝලයෙක් ලෙස ප්රකටය. දිනය පසුගිය 03 වැනිදාය.
වේලාව ඉර අවරට ගිහින් විනාඩි 40ක් පමණ ගත වෙලාය. වැලිගම වරකපිටිය ගම්මානයද තිබුණේ නිරෝධායන ඇඳිරිනීතියෙන් නිශ්ශබ්ද වෙලාය. එකවරම වෙඩි හඬින් ගිගුම් දුන්නේය. සන්ෂයින් සුද්දාට වෙඩි තබා ඇති ආරංචිය එසැනින් මුළු වැලිගමම පැතිර ගියේය.
නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි වර්ෂාවෙන් වරකපිටිය මහා විද්‍යාලය අසල ගේට්ටුවක් කඩාගෙන ඔහු ධාවනය කළ සිය සුපිරි මෝටර් රිය නතර විය. සන්ෂයින් සුද්දා සිය වාහනය තුළම අවසන් ගමන් ගියේය. සන්ෂයින් සුද්දා යනුවෙන් සිටියත් උප්පැන්නයට අනුව ඔහුගේ නම අමිල ප්‍රසන්න හෙට්ටිහේවාය. ඔහු කලක් ඩුබායි නගරයේ සේවය කරමින් මුදලක් උපයා මෙරටට පැමිණ මිරිස්සේ ඔහුගේම සංචාරක හෝටලයක් ආරම්භ කළේය. පසුව සංචාරක හෝටලයට අමතරව බෝට්ටු කීපයක් ද මිලදී ගනිමින් ව්‍යාපාරික කටයුතු දියුණු කර ගත්තේය. සංවිධානාත්මක පාතාලයේ ඇසුරද පසු කලක ඔහු ලබන්නේය.
පාතාලයේ රජකු ලෙස හැඳින් වූ ‘‘මාකඳුරේ මධුෂ්’’ ගේ ළඟම හිතවතකු බවට පත්වන්නට වැඩි කාලයක් නොගත්තේය. සන්ෂයින් සුද්දාට ඩුබායිහිදී මධුෂ් පැවැත්වූ උපන්දින සාදයට ආරාධනා ලබන්නේ මේ ලෙන්ගතුකම නිසාමය. එහිදී මධුෂ්, අමල් පෙරේරා’ සන්ෂයින් සුද්දා ඇතුළු දුසිමක් පමණ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මත්ද්‍රව්‍ය ගැනීමේ චෝදනාවටය. එරටදී කෙරුණු පරීක්ෂණවලින් පසු සන්ෂයින් සුද්දා ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කෙරුණි. කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සුද්දා අත්අඩංගුවට ගත්හ. ඔහුගේ පැටිකිරිය මුලින්ම අනාවරණය වන්නේ මේ සිද්ධියෙන්ය. එහෙත් එදා මධුෂ් ගේ උපන්දින සාදය ඔහුගේ හැරවුම බවට පත්වූවා සේම සන්ෂයින් සුද්දාට ද තිබූ තර්ජන එන්න එන්නම වැඩි වූයේ ඔහු මධුෂ්ගේ ගෝලයෙක් බව ප්රසිද්ධවීම නිසාය.
මේ නිසා ඉකුත් වසරේ මැයි මස 30 වැනිදා ඔහුට වෙඩි කන්නට සිද්ධ විය. මෙදින මිරිස්ස ධීවර වරායට මාළු ගන්නට බොහෝ පිරිසක් එක් වූයේය. ඔවුන් අතර වරාය පරිශ්‍රයේ නාඳුනන දෙදෙනෙක් රැඳී සිටියහ. පල්සර් යතුරුපැදියෙන් පැමිණි මොවුන් දෙදෙනා මාළු ගන්නට නොව වෙනත් ගොදුරක් සොයන බව විමසිලිමත්ව සිටි කිහිප දෙනෙකුටම හැඟී ගියහ. ඒ වන විටත් විශේෂ කාර්ය බළකායේ සෙබළු වරායේ රාජකාරියේ නිරත වූහ. ඔවුන්ගෙන් ද සැඟවී නාඳුනන තුවක්කුකරුවන් ක්‍රියාත්මක වූයේ සන්ෂයින් සුද්දා වරාය පරිශ්‍රයෙන් පැමිණ ආපන ශාලාවක තේ බොමින් සිටියදීය.
වෙඩි ප්‍රහාරයත් සමග සුද්දා වෙඩි කාගෙනම අසල පිහිටි නිවසකට ගොස් දොරගුළු ලා ගත්තේ මර බියෙනි. යතුරුපැදියේ පැමිණිඅයෙක් කොටු වුවද, වෙඩිකරු ත්‍රිරෝද රථයකින් පලා ගියේය. අවසානයේ සන්ෂයින් සුද්දා ද මාතර මහ රෝහලේ නතරවූයේ වම් අතේ තුවාලවලට ප්‍රතිකාර ගන්නටය. මෙම වෙඩි තැබීම කර තිබූණේ මිදිගම චින්තක නොහොත් හරක් කටාය. කලක් මේ සියල්ලක්ම එකම රෑනක සාමාජිකයන්ය. කොටින්ම කියතොත් හරක් කටා යනු මධුෂ්ගේ ගෝලයෙකි. එහෙත් මාකදුරේ මධුෂ් අත්අඩංගුවට පත්වීමත් සමග හරක් කටා ඔහුගෙන් ඈත් විය. ඉක්බිතිව ඔහු එක්වන්නේ අංගොඩ ලොක්කාටය. ඔහුට මධුෂ් ඉවරයක්කරන්නට ඕනෑ විය. රජා මරන්නට පෙර ඔහුගේ රැකවලුන් මැරිය යුතු බව කල්පනා කළ ලොක්කා සුද්දා මරන්නට කොන්ත්‍රාත්තුව දුන්නේ හරක් කටාටය. එහෙත් සුද්දා බේරුණේ්ය.
සුද්දාට වෙඩි තැබීමට යොදාගෙන තිබුණේ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩිකරු ලෙස සැලකෙන අතුරුගිරියේ ජෙරා නමැත්තා බවට ද ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගත්තේය. ජෙරා යනු ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 13ක් සේවය කර හමුදාවෙන් පලා ගිය අයෙකි. මීටර් 100 ධාවන ශූරයකු ලෙසද ප්රකටය. ඊට වඩා ප්‍රසිද්ධියට පත්ව සිටියේ පාතාලේ හොඳම වෙඩික්කරු ලෙසය. සුද්දා ඔහුගෙන් බේරුණේය. එහෙත් සුද්දාට යළිදු වරක් උණ්ඩයෙන් බේරෙන්නට ඉකුත් 3 වැනිදා වාසනාව තිබුණේ නැත. සන්ෂයින් සුද්දා මියයන විට 29 වැනි වියේ පසුවිය. සුද්දා ඝාතනය වන්නේ ඔහු අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බව කියන කාන්තාවගේ නිවසේ සිට පැමිණෙමින් සිටියදීය.
අසනීප තත්ත්වයෙන් පසු වූ ඇයට දහවල් කෑම රැගෙන යාමට සිටියේ සුද්දාගේ හිතවතෙකි. නමුත් ඇයට සේම ඇගේ දරුවාටත් ආදරය කළ සන්ෂයින් සුද්දාම කෑම රැගෙන එන්නට පිටත්ව ගියේය. පසුව කෑම රැගෙන යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුවූ බවට පැවසේ. කෙසේ වෙතත් මෙම අනියම් සම්බන්ධය ගැන වඩාත් කිපී සිටියේ මෙම කාන්තාවගේ ස්වාමියාය. අවස්ථාවන් කිහිපයකදීම සුද්දා මරණ බවට තම සැමියා තර්ජනය කළ බවට ඇය චෝදනා නගන්නීය. ඇයට ද මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් වරකපිටිය නිවසේ ද කැමරා සවිකරන්නට සුද්දා පියවර ගත්තේය. මෙසේ නිවසට පැමිණෙන අවස්ථාවන් කිහිපයකදීම සැකකටයුතු වාහන මුණගැසුණ ද සන්ෂයින් සුද්දා ඒවා ගණනකට නොගත් බව ද ඇය පවසන්නීය.
කෙසේ නමුදු සුද්දාගේ ඝාතනය ඔහුගේ අනියම් සබඳතාව මතම වූ බවට තවමත් නිශ්චිත වශයෙන් හෙළි වී නැත.
මෙම සිද්ධිය පසුපස හරක් කටා ද සිටිය හැකි බවට තවත් සැකයකි. ඒ පසුපස පොලිසියේ විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන වාහනයක් ද ඉකුත් 4 වැනි දින මාතර, නාඳුගල වේල්ල අසල දමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.
සන්ෂයින් සුද්දාගේ බිරිඳ ඔහුගේ දරුවාද ජීවත් වන්නේ ද මිරිස්ස ප්රදේශයේය. ඔවුනගෙන් වෙන්ව වාසය කළ ද එම පවුලත් නඩත්තු කළේ ද ඔහුමය. සුද්දාට ඇති චෝදනාව මත්ද්‍රව්‍ය ජාවාරම්ය. මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ඔහුගේ බෝට්ටු මගින් දකුණු වෙරළට ගෙනා බවට එල්ල වන චෝදනාවකි. මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටවිල පොලිසිය මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව නඩු පැවරීය. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්ගේ උපදෙස් පරිදි කොටවිල පොලිස් ස්ථානාධිපති රොෂාන් හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම සන්ෂයින් සුද්දාගේ ඝාතකයා සොයා වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කෙසේ නමුදු සුද්දාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඔහුට කොරෝනා වැලඳී ඇති බවය. මේ හේතුවෙන් ඔහුගේ මෘත දේහය නිරෝධායන නීතියට අනුව මඩකලපුව ඔට්මාවඩිහිදී භූමදානය කෙරුණේ පාතලයට සම්බන්ධ වන්නන්ට වැඩි ආයුෂ නැති බව යළිදු වරක් මතක් කරමිනි.
මහින්ද තැළිකෝරාලගේ