T20 නායකයා මාලිංගද? කුසල්ද ?

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සහ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ නම් යෝජනාවී තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා නොකරන අතර ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලිය සඳහා නව නායකයකු පත් කිරීමට සිදුව තිබේ.

අවසන් වරට ශ්‍රී ලංකාව විස්සයි විසසයි තරගයක් ක්‍රීඩා කළේ පසුගිය මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවේදීය. ලසිත් මාලිංග ඊට නායකත්වය ලබා දුනි.

කෙසේ නමුත් එම තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග, එක්දින නායකත්වයෙන් ඉවත් කෙරිණි. ඔහුගේ විස්සයි විස්ස නායකත්වය ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බව එහිදී ප්‍රකාශ විය.

පසුගිය ජුලි මාසයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා රැඳී සිටින බව ප්‍රකාශ කළේය.

කෙසේ වුවත් ඒ සඳහා තම සැලසුම අනුව ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියේය.

“ඔවුන් කිව්වා දිගටම නායකත්වයේ ඉන්න කියලා, මම මගේ සැලැස්මක් හදනවා, මොකද මම හිතන්නේ නැහැ මම තරම් විස්සයි විස්ස ක්‍රීඩාවේ අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවා කියල”

“කියල බලනවා, ප්‍රතිචාර හොඳ නම් ඉන්නවා. නැත්නම් බායි කියලා යනවා” බීබීසී සිංහල සේවය මාධ්‍ය හමුවක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලසිත් මාලිංග කියා සිටියේය.

තමන්ට ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට නම් කණ්ඩායමේ නායකත්වය හා තම සැලසුම් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පවසමින් ලසිත් මාලිංග එම මාධ්‍ය හමුවේදී තේරීම් කමිටුවට ඉඟියක් ලබාදීමට කටයුතු කරන ආකාරය දක්නට ලැබුණි.

මේ පිළබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව අතර පැවති සාකච්ඡාවලදී ලසිත් මාලිංගගේ නමට අමතරව පිතිකරුවන් වන කුසල් ජනිත් පෙරේරාගේ සහ නිරෝෂන් දික්වල්ලේගේ නම යෝජනාවී තිබේ.

විශේෂයෙන්ම පිතිකරුවන් වන කුසල් ජනිත් පෙරේරාගේ සහ නිරෝෂන් දික්වැල්ලගේ නම ඒ සඳහා යෝජනාවී ඇත්තේ 2020 ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා තරුණ නායකයකු දැන් සිටම සුදානම් කිරීමේ අරමුණ ද ඇතිවය.

බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේ විස්සයි විස්ස නායකත්වය සම්බන්ධයෙන් ලසිත් මාලිංග හෝ කුසල් ජනිත් පෙරේරා ඉදිරියෙන් සිටින බවය.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වයට පත් කරන ලෙස තේරීම් කමිටුවට යෝජනා කර ඇති බව ද මේ අතර වාර්තාවේ. ක්‍රිකට් තේරීම් කමිටු ආරංචි මාර්ග අනුව ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වයට පත්කළ හොත් එය බොහෝදුරට තරගාවලියෙන් තරගාවලියට ලබාදෙන නායකත්වයක් වනු ඇත.

“නවසීලන්ත සංචාරයේ ඔහුට නායකත්වය දීලා ඔහු කණ්ඩායම මෙහෙයවන ආකාරය බලන්න ඕනේ කියන එකයි මගේ මතය. මොක්ද ප්‍රශ්න තියෙන තැන් තියෙනවා. බොහෝවිට තරගාවලියෙන් තරගාවලියට අපි විස්සයි විස්ස කණ්ඩායමට නායකයෙක් පත් කරයි” නම සඳහන් කිරීමට අකමැතිවූ තේරීම් කමිටු සාමාජිකයකු කියා සිටියේය.

බ්‍රහස්පතින්දා (අගෝස්තු 22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විස්සයි විස්ස ශ්‍රී ලංකා නායකයා කවුදැයි මාධ්‍යවේදියෙකු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් කරුණු විමසු අතර ඔහු පැවසුවේ තෝරාගත් කණ්ඩායමේ නම් ලැයිස්තුව තම අනුමැතිය සඳහා තවමත් ඒවා නොමැති බවය. කෙසේවෙතත් ලසිත් මාලිංග ක්‍රීඩා කරන බව පමණක් ඔහු කියා සිටියේය.

මේ අතර එම මාධ්‍ය හමුවේදී අවධානයට යොමුවූ තවත් කරුණක් වුයේ මේ වන විට ලකුණු අතර සිටින ක්‍රීඩකයකු වන ඇන්ජලෝ මැතිව්ස් විස්සයි විස්ස කණ්ඩායම සඳහා දැනට තෝරා ඇති 24 දෙනාගේ සංචිතයට ඇතුළත් නොවීම පිළිබඳවය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු අතර දිවයාම නිසි ලෙස සිදු නොකරන බවට පවසමින් තේරීම් කමිටුව ඔහු කණ්ඩායමෙන් ඉවත්කර ඇත්දැයි මාධ්‍යවේදියෙකු විමසු විට අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳ තමන් කරුණු සොයා බලන බවය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු අතර සිටින නිසා ඔහු කණ්ඩායමට ක්‍රීඩා කළ යුතු බව තම පුද්ගලික මතය බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා කෙසේ නමුත් තේරීම් කමිටුවට ඒ ගැන වෙනත් විශ්ලේෂණයක් තිබිය හැකි බව ද කියා සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *