ණයට දුන් මුදල හෝ ඊට සරිලන ලෙස ප්‍රේමය ඉල්ලා සිටි තරුණයාව මරා දැමූ ගුරුවරිය

ණයට දුන් මුදල ලබාදිය නොහැකි නම් තමන්ට ප්‍රේම කරන ලෙස ඉල්ලා සිටි තරුණයකුව ඝාතනය කළ පුවතක් තණමල්විල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 10 වන දින තණමල්විල පොලිස් ස්ථානයට පැමිණි දුරකතන ඇමතුමකින් කියවුණේ තණමල්විල සමාධිගම ප‍්‍රදේශයේ පාළු ඉඩමක මියගිය තරුණයෙකුගේ සිරුරක් ඇති බවයි.

එහි ගිය පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වූයේ හිසට වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර දමා ඇති ආකාරයයි.

පොලිස් විමර්ෂණවලදී අනාවරණය වූයේ මියගොස් ඇත්තේ තණමල්විල, කුමාරගම, සුරිආර පදිංචි 29 හැවිරිදි පරණගමගේ චමින්ද විජේසිරි නමැති අවිවාහක තරුණයෙකු බවයි.

මියගිය පුද්ගලයා තණමල්විල, හම්බෙගමුව, බෝදාගම, කුමාරගම, මහගල්වැව, සූරියවැව ඇතුළු ප‍්‍රදේශ රැසකටම පොලියට මුදල් ලබා දීම සිදු කරන්නෙකි.

මේ නිසා මෙම තරුණයා සිය පොලී මුදල් එකතු කරමින් දිනපතා තණමල්විල අවට ඇවිදීම සාමාන්‍ය සිරිතකි.

කෙසේ වෙතත් මේ තරුණයාට හිටිහැටියේ වෙඩිතබා ඝාතනය කළේ කවුරුන්ද යන්න පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම්වලට ද පැවතියේ දැඩි ගැටලූ සහගත තත්ත්වයකි.

පරීක්ෂණ පැවැත් වූ පොලීසිය සැක පහළ කළේ මෙය වෙනත් ස්ථානයක සිට ඝාතනය කර පෙර දින රාත‍්‍රියේ මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවයි.

පොලිසියට පොලිස් නිළ සුනඛයෙකුගේ සහාය පැතීමට ද සිදු වූ අතර මෙහිදී අපරාධය සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිල සුනඛ ඩෙනීට එහි ඉව ඇල්ලීමට සලස්වා තිබෙනවා.

මියගිය තරුණයා වැටී සිටි ස්ථානය ඉව කළ ඩෙනී මළසිරුර වැටී තිබූ ස්ථානයේ සිට මීටර් 60ක් පමණ දුරින් පිහිටි එක්තරා නිවසක් අසල නැවතී තිබෙනවා.

එතනින් එහාට නොගිය නිල සුනඛයා අපරාධකරු මෙහි වග බව පොලිසියට ඉඟිබිඟි කරන්නට වූ අතර වහා එම නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරින්ට දැකිය හැකි වූයේ එහි සිටි කාන්තාවකි. එකී කාන්තාව ප‍්‍රදේශයේ පෙර පාසලක ගුරුවරියකි.

අත්අඩංගුවට පත් කාන්තාව සමාධිගම ප‍්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි එක් දරු මවක් වන අතර සැකකාරිය පවසා ඇත්තේ කටුවන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ලබා දුන් කොන්ත‍්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදු කළ බවයි.

ඒ අනුව මෙම ඝාතනය සිදුකළ බව කියන කටුවන ප‍්‍රදේශයේ පුද්ගලයා මෙම කාන්තාව හා අනියම් සබඳතාවයක් ඇති බව ද පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මියගිය තරුණයා විසින් මෙම සැකකාර කාන්තාවට රුපියල් 50,000ක මුදලක් පොලියට ලබා දී ඇති අතර මෙම මුදලේ පොලිය ඉල්ලා මෙම තරුණයා නිතර නිතර මෙම කාන්තාවගේ නිවසට ආගිය බවත් එසේ ගියත් ඔහුට අදාළ මුදල හෝ පොලි මුදල් නොලැබි ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

තමන්ට හිමි මුදල් ලබා නොදෙන්නේ නම් තමා සමග විවාහ වෙන ලෙස මියගිය තරුණයා අදාළ කාන්තාවට යෝජනා කර ඇති බවත් එම කාන්තාව එය ප‍්‍රතික්ෂේප කර ඇති බවත් පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

පොලිස් පොතේ එලෙස සටහන් වුවද ගම්මුන් පැවසුවේ මියගිය තරුණයා සමග ද මෙම කාන්තාව කලක් පේ‍්‍රම සබඳතාවයක් පවත්වාගෙන ගිය බවයි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.