මිතුරා මරා බිරිඳ ඉස්සූ ‘අංගොඩ ලොක්කා’ මරා දැමුවේ ඒ බිරිඳමයි

චිත්‍රපටවල ටෙලිනාට්‍යවල නවකතාවල දකින කියවන මනඃකල්පිත කථා අපට සැබෑ ලෝකයෙන් අසන්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්ය. චිත්‍රපටයක දිගහැරෙන වෘත්තාන්තයක් වැනි කතාන්දරයක් අපට පසුගියදා අසන්නට ලැබුණේය.

ඒ වෙන කවරක්වත් නොව ‘අංගොඩ ලොක්කා’ නමැති පාතාල මැරයාගේ අභිරහස් ඝාතනය පිටුපස දිගහැරෙන කතා පුවතය. ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී සිදුවූ මේ අභිරහස් ඝාතනයට හේතු පාදක වූ සිදුවීම් මාලාව දිගහැරෙන්නේ ඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මස 06 වැනිදා සිදුවූ මිනිස් ඝාතනයත් සමඟය.

එදින ඝාතනයට ලක් වූයේ අංගොඩ ලොක්කාගේ සමීපතම මිතුරා වූ රත්තරං ය.

රත්තරං අංගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන් කීපදෙනාගෙන් එක් අයෙකි. වගුරු ඉඩම් ගොඩ කිරීම, ඒවා සංවර්ධනය කර ඉහළ මිල ගණන්වලට විකිණීම මෙන්ම තවත් ව්‍යාපාර කීපයක් සාර්ථකව කරගෙන ගිය රත්තරං ඒ හරහා විශාල ධනයක් උපයා ගෙන සිටියේය.

වගුරු ඉඩම් ගොඩකිරීම සංවර්ධනය කිරීම වැනි ගැටලූ සහගත තත්ත්වයන් ඇති ව්‍යාපාර කර ගෙන යද්දි පාතාලයේ මැර බලය ඊට බෙහෙවින් අවශ්‍ය විය. රත්තරන් අංගොඩ ලොක්කා සමීපව ඇසුරු කළේ තම ව්‍යාපාර සඳහා ඔහුගේ චණ්ඩි බලය ලබා ගැනීම සඳහා ය.

රත්තරංගේ බිරිඳ ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවකි. ඇගේ පියා ඉන්දීය ජාතිකයකු වන අතර මව සිංහල ජාතික කාන්තාවකි.

අංගොඩ ලොක්කා තම සමීපතම මිතුරා වන රත්තරංගේ නිවසට නිතර යන්නට එන්නට පුරුදුව සිටියේ කාලයක සිටය. අංගොඩ ලොක්කාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම රත්තරංගේ පවුලේ සාමාජිකයන් ඇසුරු කළේ සමීපතම ඥාතීන් ලෙසය.

රත්තරංට කරදරයක් හිරහැරයක් වූ විට මුලින්ම ඔහුගේ සහයට ආවේ අංගොඩ ලොක්කාය. එමෙන්ම අංගොඩ ලොක්කාට කිසියම් ගැටලූවක් වූ තැන ඔහු වෙනුවෙන් රත්තරං හැමවිටම පෙනී සිටියේය.

විවිධ අපරාධ සම්බන්ධයෙන් අංගොඩ ලොක්කා බන්ධනාගාරගත වූ විට ඔහු බැලීමට නිතරම බන්ධනාගාරයට විසිට් දැමුවේ රත්තරං ය.

මේ කාලවකවානුව වනවිට රණාලේ සමයා සහ අංගොඩ ලොක්කා අතර හටගෙන තිබුණේ බද්ධ වෛරයකි. හෙරොයින් ජාවාරමේ ආධිපත්‍යය ගොඩනගා ගැනීම සඳහා ඔවුන් අතර පැවැතියේ යුද්ධයකි. මේ යුද්ධයට මැදිවූ දෙපාර්ශ්වයේම සාමාජිකයන් සෑහෙන පිරිසක් ඒ වනවිට නොයෙන ගමන් ගොස් සිටියහ.

අංගොඩ ලොක්කාගේ සහ රණාලේ සමයාගේ කල්ලිවල සාමාජිකයන් එකිනෙකා මරාගන්නා තත්ත්වයට පත් වුණේ මේ කුඩු යුද්ධය උච්චතම ස්ථානයට පත්වීමත් සමඟය.

2017 වර්ෂයේ ජනවාරි 06 වැනිදා උදෑසන අංගොඩ නගරය ගිනි ගත්තේය. නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු රත්තරං නමැති ව්‍යාපාරිකයා මහමග දෙනෝදාහක් දෙනා බලා සිටියදී වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණේය. මෙම ප්‍රහාරය එල්ලවී තිබුණේ රත්තරං සිය බිරිඳට අයත් රූපලාවන්‍යාගාරය වෙත ගොස් ඇය බස්සවා ආපසු නිවෙස බලා එමින් සිටියදීය.

තම ආදරණීය සැමියා ඝාතනය කළ පුවත ඇසීමෙන් නාලනී දැඩි ලෙස කම්පාවට පත් වූවාය. ඇය තම සැමියාට අසීමිතව ආදරය කළ අතර ඔවුන් අතර තිබුණේ පුදුමාකාර ආදර බැඳීමකි. තම කල්‍යාණ මිතුරා වූ රත්තරං මරා දැමූ පුවත සැළවීමත් සමඟම අංගොඩ ලොක්කා ද දැඩි ලෙස කම්පනයට පත් වුණේය. අංගොඩ ලොක්කා ඒ මොහොතේම රත්තරංගේ නිවසට පැමිණ නාලනී මුණගැසී ඇය සමඟ ශෝකය බෙදාගන්නට වුණේය.

“රණාලේ සමයා මා එක්ක තියෙන තරහට මේ වැඩේ කළේ. රත්තරං මගේ හොඳම යාළුවා කියලා ඌ හොඳටම දන්නවා. මාව වට්ටන්න තමයි ඌ රත්තරංව මැරුවේ. මං මේකෙ පලිය ගන්නවා උගෙන්. නංගි බය වෙන්න එපා ඕනෙම දේකට මං ඔයා එක්ක ඉන්නවා.”

අංගොඩ ලොක්කා නාලනීගේ සිත සැනසුවේය. ඒ වනවිට නාලනී අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටියාය. පාතාලයෙන් ඇය වෙත එල්ලවී තිබුණේ ද දැඩි තර්ජනයකි. අංගොඩ ලොක්කාගේ පිළිසරණ හැර ඇයට වෙනත් සරණක් තිබුණේ නැත. ඇය ඒ වනවිට ඒ තත්ත්වයට පත්ව සිටියාය.

නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය රත්තරං ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ. දින කීපයක් යද්දී රත්තරං ඝාතනයේ සුලමුල හෙළි කර ගන්නට පොලිසියට හැකි වුණේය.

විමර්ශනවලින් හෙළි වූ අන්දමට මේ ඝාතනය සිදු කර තිබුණේ රණාලේ සමයාගේ කල්ලිය විසින්ය. ඝාතනය සම්බන්ධයෙන් සමයාගේ සමීපතම ගෝලයකු වන ගොත අසංක නමැත්තා අත්අඩංගුවට ගෙන තිබුණේය.

ගොත අසංකගේ පාපොච්චාරණයෙන් කියැවුණේ මේ ඝාතනය සඳහා හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු ද පැමිණි බවයි. රත්තරං මරා දැමුවේ සමයාගේ උවමනාවට බවද ගොත අසංග පොලිසිය හමුවේ කියා සිටියේය.

රත්තරංගේ ආදාහන කටයුතුවලින් පසු අංගොඩ ලොක්කා ඔහුගේ නිවසට නිතර යන්නට එන්නට පටන් ගත්තේය. නාලනීගේ දුක සැප සොයා බැලූ ඔහු පවුලේ සාමාජිකයන්ගේ ද අවශ්‍යතාවන් සපුරාලන්නට ඉදිරිපත් වුණේය.

නංගිට කිසිම ප්‍රශ්නයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ඔයා බය නැතිව ඉන්න. තව ටික දවසකින් ඔය රණාල, සමයාගේ වැඩෙත් ඉවර වෙනවා. එතකොට ඔයාට බයක් වෙන්න ඕනේ නැහැ.’’

අංගොඩ ලොක්කා තම රැකවරණයට සිටීම ගැන නාලනී යටි සිතින් සතුටු වූවාය. ඇයගේ බිය දුක ශෝකය යන්තමින් හෝ තුනිවී ගියේ අංගොඩ ලොක්කා දැක්වූ ළෙන්ගතුකම නිසාය. ඒ වනවිට අංගොඩ ලොක්කා විශාල පාතාල බලයක් ගොඩනඟාගෙන සිටියේය. මෙරට පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධූෂ් සමඟ සමීප සබඳතාවක් ගොඩනගාගෙන සිටි අංගොඩ ලොක්කා ඒ හරහා තම පාතාල බලය ව්‍යාප්ත කර ගනිමින් සිටියේය.

අංගොඩ ලොක්කා සමග එකට කල්ලි ගැසී සිටි චමී, ලසියා ඇතුළු පිරිස ටිකෙන් ටික අතහැර දැමු අංගොඩ ලොක්කා වෙනම ගමනක් යන්නට පටන් ගෙන සිටියේය.

අංගොඩ ලොක්කාට පෙර මුල්ලේරියාව , අතුරුගිරිය අංගොඩ ප්‍රදේශයේ කෙරුමා වී සිටියේ චමීය. එහෙත් මධුෂ්ගේ බලය තමන් වෙත ලබා ගැනීමත් සමඟ අංගොඩ ලොක්කා ඒ ප්‍රදේශයේ පාතාල කෙරුමා බවට පත් වුණේය. චමී ඇතුළු පිරිස කරලියෙන් බැස පසෙකට වී බලා සිටියේ අංගොඩ ලොක්කා අරඅදින්නේ කුමන නැටුමක් නැටීමට දැයි නිරීක්‍ෂණය කරමිනි.

ඒ වනවිට රත්තරංගේ ඝාතනය පිළිබඳව පාතාල ලෝකය පුරා විවිධ කථා පැතිර යමින් තිබුණේය. රත්තරං ඝාතනයට තම කල්ලිය සම්බන්ධයක් නොමැති බව රණාලේ සමයා, හොඳාකාරවම දැන සිටියේය.

අංගොඩ ලොක්කාගෙන් ඈත් වී සිටිනා චමී රණාලේ සමයා සමඟ පුංචි ඇයි හොඳයිකමක් පවත්වාගෙන යමින් සිටියේය. දිනක් රණාලේ සමයා ඔහුට දුරකථනයෙන් කතා කර මේ බව කීවේ මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බලන ලෙස කියමින්ය.

‘‘රත්තරංව අයින් කරන්න අපිට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මේක ගොත අසංකයා කළේ කාගේ හරි උවමනාවකට. උඹ ටිකක් මේ ගැන හොයලා බලපං.

අංගොඩ ලොක්කා අපට ෂුවර් නැහැ. ඌ ඒවගේ සතෙක්නේ. උඹ දන්නවානේ.

රණාලේ සමයා චමීට මේ පිළිබඳ සත්‍ය සොයා බලන ලෙස කීවේය. ඒ වනවිට චමී සිටියේද බන්ධනාගාරයේ. චමී සිය ගෝලබාලයන් යොදා ගෙන රත්තරං ඝාතනයේ අභිරහස සොයන්නට වුණේය.

මේ අතර 2017 වර්ෂයේ පෙබරවාරි මාසය අවසානයේ මුළු රටම ගිනියම් වූ සිද්ධියක් වාර්තා වුණේය.

රණාලේ සමයා ඇතුළු පාතාල මැරයන් පිරිසක් රැගත් බන්ධනාගාර බස් රථයට කළුතරදී පාතාල ප්‍රහාරයක් එල්ල වුණේය.

මේ ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ ඒ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් විසින් ය.

බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ලකිරීමට නායකත්වය දුන්නේ අංගොඩ ලොක්කාය. පොලිස් පරීක්‍ෂකවරයකුගේ නිල ඇඳුමින් සැරසී සිටි අංගොඩ ලොක්කා සිය පරම හතුරා රණාලේ සමයා ඇතුළු පාතාල සගයන් කීපදෙනකු වෙඩි තබා ඝාතනය කළේය. ඒ ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද ජීවිතක්‍ෂයට පත් වූහ. කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කර සමයා ඇතුළු හත්දෙනකු මරා දැමූ අංගොඩ ලොක්කා පුත්තලම ප්‍රදේශයට පලා ගියේය.

කොයි මොහොතක හෝ තමා පසුපස පොලිසිය ලූහුබඳින බව දැන සිටි අංගොඩ ලොක්කා හලාවත මුහුදෙන් ඉන්දියාවට පලා යන්නට සැලසුම් කළේය

කොළඹ ජම්පටා වීදියේ පාතාලයේ කෙරුමා ලෙස හැඳින්වූ පූකුඩුකන්නා අංගොඩ ලොක්කාගේ සමීප මිතුරෙකි. අංගොඩ ලොක්කාට රටින් පැන යෑම සඳහා බෝට්ටුවක් සූදානම් කර තිබුණේ පූකුඩුකන්නාය.

අංගොඩ ලොක්කා සහ ලපයා හොර රහසේම හලාවතින් බෝට්ටුවේ නැඟී ඉන්දියාවට පැන ගත්හ. ඉන්දියාවේ තමිල්නාඩු කොයිම්බතූර් ප්‍රදේශය සිය වාසස්ථානය කරගත් අංගොඩ ලොක්කා මුලින්ම කළේ ඉන්දීය ජාතිකයකු ලෙස නම වෙනස් කරගෙන විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමය.

අංගොඩ ලොක්කා ආර්. ප්‍රදීප් සිං බවට පත් වන්නේ ඉස්පසුවය. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ගත් අංගොඩ ලොක්කා තම පාතාල කල්‍යාණමිත්‍රයා වූ මාකඳුරේ මධූෂ් සොයාගෙන ඩුබායි රාජ්‍යයට ගියේය.

රණාලේ සමයා ඝාතනය කර මුළු රටම හෙල්ලූ ආන්දෝලනාත්මක ප්‍රහාරයකට නායකත්වය දී ඩුබායි දේශයට පැමිණිය ද මාකඳුරේ මධුෂ්ගෙන් අංගොඩ ලොක්කාට නිසි පිළිගැනීමක් ලැබුණේ නැත.

ඒ සිදුවීම්වලින් අංගොඩ ලොක්කා දැඩි කලකිරීමට පත්ව සිටියේය. මාකඳුරේ මධූෂ් තම සමීපතම පාතාල සගයා ලෙස ළං කර ගෙන සිටියේ කංජිපානි ඉම්රාන්ය. මධුෂ් හැමවිටම කටයුතු කළේ කංජිපානිගේ උපදෙස් ලබාගෙනය. මොවුන් දෙදෙනා අතර තිබූ බැඳීම අංගොඩ ලොක්කාට රිස්සුවේ නැත. ටික කාලයක් ඩුබායිවල ගත කරද්දී අංගොඩ ලොක්කා තනිවම ව්‍යාපාර කිරීමට උනන්දු වුණේය.

ඒ අතරතුර ඔහු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය යොදාගෙන සිංගප්පූරුව මලයාසියාව මෙන්ම තවත් රටවල් කීපයකම සංචාරය කළේය.

මධුෂ් අපිට නැඟිටින්න උදව් කරන්නේ නෑනෙ. මිනිහාට ලොකු අර තම්බියා. ඒ නිසා මං කොහොම හරි තනියම නැඟිටිනවා.

අංගොඩ ලොක්කා තම සමීපතම මිතුරන්ට මේ බව කියා තිබුණේය. හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් තනිවම හෙරොයින් ව්‍යාපාර කිරීමට අංගොඩ ලොක්කා උත්සාහ ගත්තේය.

මේ අතරතුර අංගොඩ ලොක්කා නිතර නිතර ඉන්දියාටව යන්නට එන්නට පටන් ගත්තේය. ඒ වනවිට රත්තරංගේ බිරිඳ නාලිනී අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ බවට පත්ව සිටියාය.

‘ඔයාට ලංකාවෙ ඉන්න එක ආරක්‍ෂාවක් නැහැ. ඔයා ඉන්දියාවට එන්න මං ඔයාව බලාගන්නම් අපට එහෙ සන්තෝසෙන් ජීවත් වෙන්න පුළුවන්.’

අංගොඩ ලොක්කා නාලනීට මේ බව නිතර නිතර කීවේය. අංගොඩ ලොක්කාගේ ආදර බස්වලට රැවටුණු නාලිනී ඔහුගේ ආදරය උණුසුම සොයාගෙන ඉන්දියාවට ආවාය.

ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ පිහිටි නිවස ඔවුන්ගේ වාසභූමිය විය. හෙරොයින් ව්‍යාපාර කටයුතු වලට අංගොඩ ලොක්කා ඩුබායි දේශයේ සති ගණනක් රැඳී සිටියද විවේකයක් ලද සැණින් ඔහු ඉන්දියාවේ කොයිම්බතූර් පිහිටි නිවසට යන්නේ නාලනීගේ ආදරය පහස විඳ ගැනීමටය.

සුරූපී කාන්තාවන් ඇසුරට දැඩි ලොල් බවක් දැක්වූ අංගොඩ ලොක්කා තම සිත ගිය සුරූපිනියන් අතහැරියේ නැත. කෙසේ හෝ ඔවුන්ගේ පහස ලබා ගැනීමට ඔහු හැමවිටම කටයුතු කළේය.

මාකඳුරේ මධුෂ් කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල මැරයන් පිරිස ඩුබායි පොලිසියට කොටු වන්නේ මේ අතරතුරදීය. මධුෂ් කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වීම ගැන වඩාත්ම සතුටට පත් වුණේ අංගොඩ ලොක්කාය.

මධුෂ් කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ඔවුන් සතුව තිබූ පාතාල බලය හෙරොයින් ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම ලැබුණේ අංගොඩ ලොක්කා වෙතය.

මධුෂ්ගේ අනියම් බිරිඳ මෙන්ම කංජිපානි ඉම්රාන්ගේ බිරිඳ ද ඒ වනවිට සිටියේ ඩුබායි රාජ්‍යයේය. හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වාගෙන යමින් ව්‍යාපාරය කරගෙන යෑමට හයියක් ඔවුන් දෙදෙනාට තිබුණද පාතාල බලය ශ්‍රී ලංකාව තුළ හෙරොයින් බෙදාහැරීමේ ශක්තිය මේ කාන්තාවන් දෙදෙනාට තිබුණේ නැත.

හෙරොයින් ව්‍යාපාරය කරගෙන යන්නට ඔවුන් දෙදෙනා අංගොඩ ලොක්කාගේ සහය පතන්නේ ඉන්පසුවය. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් අංගොඩ ලොක්කා මාකඳුරේ මධුෂ්ගේ සුරූපී අනියම් බිරිඳ ද තම පෙම්වතිය කරගෙන හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යන්නට පටන් ගත්තේය.

ඩුබායි රාජ්‍යයේ සහ ඉන්දියාවේ සැරිසරමින් හෙරොයින් ව්‍යාපාරය තම ස්ථිර ආදායම් මාර්ගය කරගෙන අංගොඩ ලොක්කා සුරසැප විඳිද්දී ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ පාතාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණේය.

අංගොඩ ලොක්කාගේ සමීපතමයකුව සිට ඔහුගෙන් ඈත්ව සිටින චමී රත්තරංගේ අභිරහස් ඝාතනය පිළිබඳ සියලූ තොරතුරු ඒවනවිට අනාවරණය කරගෙන සිටියේය.

රත්තරං ඝාතනය කළේ රණාලේ සමයාගේ කල්ලිය විසින් නොවන බව සාක්‍ෂි සහිතව සොයා ගන්නට චමීට ඒ වනවිට හැකිව තිබුණේය.

‘අංගොඩ ලොක්කා කියන්නේ තිරිසනෙක් රත්තරංව මැරුවෙ සමයා නොවෙයි අංගොඩ ලොක්කාමයි. ඌ උගේ කල්‍යාණ මිත්‍රයාව මැරුවේ උගේ නෝනා අයිතිකරගන්න. ඒ ගෑනි මේ කිසි දෙයක් දන්නේ නැහැ. ආරක්‍ෂාවක් නැති නිසා නාලිනී දැන් අංගොඩ ලොක්කා එක්ක ඉන්නේ.’

චමී මේ සියලූ තොරතුරු තම සමීපතම සගයන් වෙත කීවේය. චමී ඇතුළු පාතාල සගයන් හෙරොයින් ජාවාරමේ නිරත වුවද මිනීමැරුවේ නැත. මිනීමැරුම් කිරීමට කිසිවකුටත් ඉඩ දුන්නේ ද නැත.

එහෙත් අංගොඩ ලොක්කා මාකඳුරේ මධුෂ් ලබා දුන් කොන්ත්‍රාත් මිනීමැරුම් ඉවක් බවක් නොමැතිව සිදු කළේය.

චමී ඇතුළු පිරිස රත්තරං ඝාතනයේ සුලමුල අනාවරණය කරගෙන සිටිනා බව අංගොඩ ලොක්කා දැන සිටියේ නැත. ඔහු නාලනී තම අනියම් බිරිඳ ලෙස තබාගෙන පෙම් සුව විඳිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් කල් ගෙව්වේය. නාලනීගේ සොහොයුරා සිටියේ ඉතාලියේය. අංගොඩ ලොක්කා සිදු කළ පාපතර ක්‍රියාව පිළිබඳව නාලනීගේ සොහොයුරා දැනුවත් කරන්නට චමී පියවර ගත්තේ තවදුරටත් එය රහසක් වශයෙන් තබාගෙන සිටිය යුතු නැති බව තීරණය කරමින්ය.

නාලනීගේ සොහොයුරාට දුරකථනයෙන් කතා කළ චමී රත්තරං ඝාතනයේ සුලමුල හෙළි කරන්න වුණේය.

අංගොඩ ලොක්කා කියන්නේ මහ තිරිසනෙක්. ඌ රත්තරංව මැරෙව්වේ නාලිනිව අයිතිකර ගන්න. ඒ ගෑනි මේ කිසිදෙයක් දන්නේ නැහැ.

අංගොඩ ලොක්කා කාලයක් තිස්සේ නාලනීට බැල්ම දාගෙන ඉඳලා තියෙනවා. රත්තරං නාලනී එක්ක බොහොම ආදරෙන් ඉඳලා තියෙනවා. රත්තරං ඉන්න කං කවමදාවත් නාලනීගේ පහස ලබන්න බැරි බව අංගොඩ ලොක්කා තේරුම් අරන් ඉඳලා තියෙන්නේ. ඒ නිසයි ඌ රත්තරංව මරන්න ප්ලෑන් කළේ.

රත්තරංව මරන්න සමයාගේ ගෝලයො දෙන්නෙක් සල්ලිවලට අරන් තියෙනවා. ගොත අසංක කියන්නේ සමයගේ කල්ලියේ හොඳම වෙඩික්කාරයා. ඌට ලොකු ගාණක් දීලා මේ වැඬේට ඌව සෙට් කරගෙන තියෙනවා.

චමී රත්තරං ඝාතනයේ සැබෑ තත්ත්වය පැහැදිලි කරද්දී නාලනීගේ සොහොයුරා දැඩි ලෙස කම්පනයට පත් වුණේය.

‘‘ඉතිං ඇයි අංගොඩ ලොක්කා සමයාගේ ගෝලයෝ මේකට ගාව ගන්නේ ඔහු පෙරළා ප්‍රශ්න කළේය.

‘‘ එහෙම කළේ සැකයක් හිතෙන්නේ නැති වෙන්න. මේ මර්ඩර් එක සමයාගේ ටීම් එක පිටින් යන්න තමයි මිනිහා ගොත අසංකව මේ වැඩේට සෙට් කර ගත්තේ.

අංගොඩ ලොක්කා රත්තරං ඝාතනය කිරීම සඳහා කළ සැලසුම පිළිබඳව සියලූ තොරතුරු චමී නාලනීගේ සොහොයුරාට කීවේය. අංගොඩ ලොක්කා කෙරෙහි ඔවුන් තුළ ඇතිව තිබුණේ දැඩි වෛරයකි.

මේ සියලූ සිදුවීම් පිළිබඳව ඉතාලියේ සිටි සොහොයුරා නාලනීට කීවේය. තමන් ජීවත්වන්නේ තම අහිංසක සැමියාගේ ජීවිතය උදුරාගත් පාපතරයා සමග දැයි ඇසීමෙන් නාලනී දැඩි ලෙස කම්පාවටත් කෝපයටත් පත් වූවාය.

‘නංගි කලබල වෙන්න එපා අපි සද්ද නැතිව ඉමු මොකද වෙන්නේ බලන්න. ඕකා කරලා තියෙන අපරාධවල හැටියට ඌට වැඩි ආයුෂ නැහැ.

සොහොයුරා සිය නැඟණිය සනසවමින් කීවාය. මේ කිසිවක් නොදත් අංගොඩ ලොක්කා කොයිම්බතූර් නගරයේ සුඛෝපභෝගී නිවසට වී සුරසැප විඳිමින් කල්ගත කළේය.

ශරීර අභ්‍යාස ව්‍යායාම් කිරීම අංගොඩ ලොක්කාගේ දින චරියාවේ එක් අංගයකි. ඒ කටයුත්ත ශ්‍රී ලංකාවේදීත් නොවරදවාම කිරීමට අංගොඩ ලොක්කා කටයුතු කළේය. කොයිම්බතුර් නගරයේද ජිම් එකකට යන්නට අංගොඩ ලොක්කා පුරුදුව සිටියේය.

කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමගම අංගොඩ ලොක්කාගේ ව්‍යාපාර කටයුතු ද අඩපණ වන්නට පටන් ගත්තේය. ඉකුත් මාර්තු මාසයේ සිට ඔහුට ඉන්දියාවේ කොයිම්බතූර් නිවසේ රැඳී සිටින්නට සිදු විය. ඒ වනවිට ලොක්කාගේ අනියම් බිරිඳ වූ නාලනී ද මේ නිවසට පැමිණ සිටියාය. ඇයට ද ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබූ නිසා කොයිම්බතූර් නිවසට වී අංගොඩ ලොක්කා සන්තර්පනය කරමින් සිටින්නට සිදු වුණාය.

ඉකුත් ජුලි මස 03 වැනිදා උදෑසන අංගොඩ ලොක්කා සුපුරුදු පරිදි ශරීර අභ්‍යාස ව්‍යායාම් කිරීමට ජිම් එකට යෑමට සූදානම් වුණේය. ව්‍යායාම් කිරීමට පෙර ශරීර උත්තේජක දියරයක් පානය කිරීම අංගොඩ ලොක්කාගේ පුරුද්දකි. එදින ද අංගොඩ ලොක්කා සුපුරුදු පරිදි උත්තේජන පානය ලබා ගත්තේය.

එහෙත් වැඩිවේලාවක් ගියේ නැහැ. අංගොඩ ලොක්කා එකවරම සිහිසුන්ව බිම ඇදවැටුණේය. ඒ වනවිට නාලනී නිවසේ රැඳී සිටියාය.

ඇය වහාම අංගොඩ ලොක්කා කොයිම්බතූර් රෝහලට රැගෙන ගියාය. රෝහල්ගත කිරීමෙන් නොබෝ වේලාවකට පසු අංගොඩ ලොක්කා අවසන් ගමන් ගියේය. කොයිම්බතූර් නිවසේ හිමිකාරිය සහ ඇගේ සැමියා සමග එක්ව නාලනී අංගොඩ ලොක්කාගේ දේහය පිළිබඳව මරණ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ඉදිරිපත් කළේය.

අංගොඩ ලොක්කාගේ සියලූ තොරතුරු වසන් කළ නාලනී ඇය ඉන්දීය ජාතිකයකු ලෙස හඳුන්වාදී මේ සියලූ කටයුතු කර ගැනීමට කටයුතු කළාය.

අවසානයේදී අංගොඩ ලොක්කාගේ දේහය කොයිම්බතුර් ප්‍රදේශයේදී ආදාහනය කිරීමට නාලනී ඇතුළු පිරිස කටයුතු කළහ.

අංගොඩ ලොක්කා ආර්. ප්‍රදීප් සිං ලෙස හඳුන්වාදී ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඔහු ඉන්දීය ජාතිකයකු ලෙස ආදාහනය කිරීම රහසක් ලෙස තබාගන්න නාලනී ඇතුළු පිරිසට හැකිවුණේ නැත.

ඉන්දීය පොලිසිය ජුලි 4 වැනිදා නාලනී සහ කොයිම්බතූර් නිවසේ හිමිකාරියත් ඇගේ සැමියාත් අත්අඩංගුවට ගත්හ.

මේ වනවිට ඔවුන් තිදෙනා සිටින්නේ ඉන්දියාවේ රහස් පොලිසිය භාරයේයි. අංගොඩ ලොක්කාගේ අභිරහස් මරණය පිළිබඳව ඉන්දීය රහස් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කළේ පසුගියදා මේ පුවත ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත්වල ප්‍රධාන පුවත ලෙස පළ වීමෙන් පසුවය.

අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳව නොයෙකුත් කතා ප්‍රචාරය වෙමින් තිබෙයි. එහි සත්‍ය අසත්‍යතාව තවමත් හෙළි වී නැත.

තම සැමියා වූ රත්තරං ඝාතනය අංගොඩ ලොක්කා විසින් සිදු කළ බව ඇසීමෙන් කෝපයට පත් වූ නාලිනී ඔහුගේ ශරීර උත්තේජන දියරයට අධිමාත්‍රාවක් එක්කර ඔහු ඝාතනය කළ බවට කතාවක් පැතිර යමින් තිබේ.

එහෙත් ඒ බව තවමත් තහවුරු වී නැත. හෙට දිනයේ අංගොඩ ලොක්කාගේ මරණය පිළිබඳ මරණ පරීක්‍ෂණ වාර්තාව එළියට එනු ඇත. එහිදී මේ මරණය කුමක් නිසා සිදුවී ඇත්දැයි දැනගත හැකිය.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට සතුටු විය හැකි කරුණක් ඇත. හෙරොයින් තොගපිටින් මේ රටට එවමින් රටේ අහිංසක තරුණ පරපුර විනාශ මුඛයට ඇද දමා රුපියල් කෝටි ගණනින් මුදල් උපයන තවත් එක් කාලකණ්ණියකු කෙසේ හෝ ජීවිතක්‍ෂයට පත්වීම ගැන අපට සතුටු විය හැකිය.

අහිංසකයන්ගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඉඩකඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන නීතිගරුකව මුදල් උපයන මිනිසුන්ට තර්ජනය කර කප්පම් මුදල් එකතු කරන තවත් එක් පාපතරයකු රටට අහිමිවීම ගැන රටේ නීතිගරුක මිනිසුන් සිය දහස් වාරයක් සතුට ප්‍රකාශ කරති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *