ඉතිහාසයේ පළමු වරට ව්‍යාපෘති 200ක් එකම දිනක දී විවෘත කෙරේ

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200 ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් එකම දිනක දී ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීම අද (01) සිදු වුනා.

ශ්‍රී ලංකාව තුළ සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර විවෘත කරන පළමු අවස්ථාව මෙයයි.

මෙම වැඩසටහනේ ජාතික මහෝත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ දී පැවැත්වුනා.

කුලියාපිටිය ශාන්ත ජෝශප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැගිල්ල, කුලියාපිටිය සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කරමින් මෙම ජාතික මහෝත්සවය ආරම්භ වුනු අතර ප්‍රධාන උත්සව සභාව පෙරවරු 10.00ට කුලියාපිටිය නගර සභා පිටියේදී පැවැත්වීණි.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය 2016 වසර සිට 2020 වසර දක්වා ක්‍රියාත්මක වන අතර සමස්ත ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් බිලියන හැට පහකට ආසන්නයි. ඒ යටතේ මෙරට පාසල්වල ව්‍යාපෘති 18,000 ක් ක්‍රියාත්මකයි.

දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර ඒ යටතේ ඉදිකළ දෙමහල්, තෙමහල් පන්ති කාමර ගොඩනැගිලි, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණ විද්‍යාපීඨ, පරිපාලන ගොඩනැගිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන, සෞන්දර්යය ඒකක, දුෂ්කර ප්‍රදේශවල විදුහල්පති හා ගුරු නිල නිවාස, ශිෂ්‍ය නේවාසිකාගාර, තාක්ෂණගාර,බහුකාර්ය ගොඩනැගිලි, ආපණ ශාලා ඇතුළු ව්‍යාපෘති රැසක් විවෘත කරනු ලැබිණ.

මෙම ඉදිකිරීම් 200 සඳහා වැයකර ඇති මුදල රු.මි. 3,938 කට ආසන්නයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *