පිළිකා රෝහලේ නර්ස්ගේ ඇස් දෙක ගැන ‘අවසන් මොහොතේ පොතක් ලියන්න තැත් කළ’ රෝගියා

ගෙවී ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ මත්තෙගොඩ සම්බුද්ධිවත්ත මාවතේ නිවෙසේ සිට දම්මික ඔසවා ගෙන සුදු වාහනයක දමා රැගෙන යනු අපි බලා සිටියෙමු.

ඔහු එක්තරා වකවානුවක මරණය අද්දරටම ගොස්, මරණයේ උණුසුම භාගෙට විඳ ජීවිතය බේරා ගැනීමට වාසනාව ලද්දෙකි. මේ මාරාන්තික අත්දැකීම ගැන ඔහු මුලින්ම විස්තර කළේ තිගැස්මෙනි.

නමුත් ටික දිනක් යද්දී ඒ අත්දැකීම රස විඳින්නට පමණක් නොව, රස කර කර කියන්නටද ඔහු හිතහදා ගත්තේය. ඒ දම්මිකගේ හැටිය.

ඔහු තමා අකල් මරණයකට ගොදුරු කළ පිළිකාවද මැදහත් සිතින් පිළිගත්තේය. මහරගම අපේක්‍ෂා රෝහලේ සේවය කරන අපේ හිතවත් වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මා සමඟ කීවේ, ජීවිත කාලය තුළ තමන් ඇසුරු කළ රෝගීන් අතරින් රෝගය ගැන, රෝගය කළමනාකරණය කර ගැනීමේ ප්‍රතිකාර ගැන, ඔෟෂධ ගැන පමණක් නොව, කෙටි කලෙකින් තමන්ට හිමි වන ඉරණම ගැන පූර්ණ අවබෝධයක් තිබූ එකම පුද්ගලයා දම්මික බවය.

වසර හතරක විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික සේවාවක් නිම කොට ඔහු ජපානයේ තානාපති ධුරයෙන් සමුගෙන ලංකාවට ආයේ පසුගිය දෙසැම්බර් 31 වැනිදාය. ජපානයේ ඔහු ගත කළ අවසන් දින කිහිපයේ දෙසැම්බර් 29 වැනිදා දක්වා මම ඔහුට තනි රැක්කෙමි.

එවිට දීර්ඝ රාජකාරි ජීවිතයකින් විශ්‍රාම ලබා සිටි මට ඔහු කීවේ ලියන කියන දේට අමතරව යූටියුබ් නාළිකාවක් අරඹන ලෙසය. ඊට මාස කිහිපයකට කලින්ද දම්මික මට මේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

‘ලංකාවට ආවාම මමත් උදවු වෙන්නම්. මේ වැඩේ ඉක්මනින් පටන් ගන්න’ ඔහු කීයේ ඇල්කොහොල් රහිත බීර උගුරක් බී කජු මදයක් හපමිනි. වෛද්‍ය උපදෙස් මත සෑහෙන කාලයක සිට ඔහු මදුපැනක් තොල ගෑවේ නැත. ඊට පසු ඔහු මෙහෙමත් කීවේය.

‘හැබැයි මාර්තු විතර වෙද්දී මේ ලෙඩේ ටිකක් අවදානම් පැත්තකට හැරෙන්න ඉඩ තියෙනවා.’

දුමින්ද අර කතාව කියද්දී මගේ සිහියට ආයේ දෙසැම්බරයේ දම්මික මට කී මේ කතාවය.

රෝගී තත්ත්වය ගැන මුල්ම හෝඩුවාව ලැබුණේ ජපානයේ තානාපති ධුරය භාර ගෙන යන්න ඔන්න මෙන්න කියා තිබියදීය. අයි.ටී.එන්. සභාපති ධුරයෙන් සමුගැනීමේ කතාව ඔහු කළේ ඊට පසුදාය. ඒ කතාවේ යටි පෙළ සැබැවින්ම ඔහුගේ අනාගත ඉරණම බව දැන සිටියේ අයි.ටී.එන්. කාර්ය මණ්ඩලයේ එක් කෙනකු පමණි. ඒ අවසන් මෙහොත වන තුරුම දම්මිකගේ උපස්ථානයෙහි ලා කැපවූ ලාල් මාවලගේය.

දම්මික අකුරුවල රහ යසට මතු කර ලියන්නට හපනෙකි. පැණි වළලු තීරු ලිපිය ඊට කදිම උදාහරණයකි. මුල්ම කාලයේ ඔහු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගැන ලියා තිබූ එක් වැකියක් මට තවම මතකය. සුනන්දගේ මුළු මහත් හැසිරීම් රටාවම දම්මික එක වැකියකට කොටු කළේ සූර ලෙසය. ‘මහාචාර්ය සුනන්ද බෙල්ල උරුක් කොට මං දිහා බැලුවා’ සුනන්ද බලන ආකාරය ගැන මීට වඩා හොඳින් ලියන්නට කිසිදු ජගතකුට බැරි බව සුනන්ද හා සමාගමයේ යෙදුණෝ දනිති.

මුලදී සිනමාව හා සන්නිවේදනය පිළිබඳව පොත් කිහිපයක් ලීවද, පසුව දම්මික ඒ රස ලියැවිල්ල පැණි වළල්ලට සීමා කරගත්තේය. පැණි වළල්ලට මුලපිරුවේද මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ වධයෙන් බේරීමට බැරි තැනය. ඒ ගැන පැණි වළලු පෙරවදනේ දම්මික සඳහන් කරන්නේ මෙහෙමය.

‘පැණි වළලු ලිවීමටත්, එය පොතක් වශයෙන් පළ කිරීමටත් පීඩනය සැපයීමෙන් නොනැවතී උදවු උපකාර කළ තවත් කෙනෙක් සිටිති. ඔහු මට ‘ලියන්න ලියන්න’ කියමින් මගේ ජීවිත කාලය පුරාම කරදර කළේය. මා කිසිවක් නොලියන කල උකටලීව පැත්තකට විය.

ඒ ජේ‍යෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාය. ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාද, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාද, නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණියද නිතර නිතර පැණි වළලු රස ගැන කතා කළෝය. නම් ලියා කෙළවර කළ නොහැකි තවත් එබද අය බොහෝ වෙති.’

කාර්ය බහුල රාජකාරි ජීවිතය අතර කෙසේ හෝ ඉඩකඩක් සොයා ගෙන වෙනත් නිර්මාණ කාරියකට අත ගසන්න යැයි බොහෝ මිතුරන් ඉල්ලා සිටියද ඔහු පැණි වළල්ලේම එල්ලී සිටියේය.

ලියන්නට විතරක් නොවේ, ඔහුට කතා කරන්නටද හැකිය. ඔහු අති දක්‍ෂ කථිකයෙක් විය. ඔහු තැනේ හැටියට ඇණේ ගසමින්, සභාවේ අවධානය මුල සිට අග දක්වාම එක සේ රඳවා ගැනීමේ බුහුටිකමින් පරිපූර්ණ වූවෙකි. සිංහල බසින් පමණක් නොවේ, ජපන් බසින්ද එසේමය.

‘දම්මික සෙන්සෙ අපිට වැඩිය හොඳට ජපන් කතා කරනවා’ කියා ජපන්නු කියති. ඇත්තෙන්ම දම්මික ජපන් බස හැසිරවීමෙන් ජපනුන්නට වඩා හපනෙක් විය. ජපන් අධිරාජයා සමඟ සමාගමයේ යෙදෙමින් හයිකු කවි ගායනා කිරීමේ දුර්ලභ අවස්ථාව ඔහුට උදාවුණේ ඒ නිසාමය.

ඔහු හොඳ සිත්තරකු වූ නමුත් ඒත් සිත්තර කර්මාන්තයේ යෙදුණේම නැති තරම්ය. ගෙදර එල්ලා ඇති චිත්‍ර කිහිපයකින් එහාට සිත්තර කලාව ගෙන ගිය බවක් මා දන්නේ නැත. ‘ඇඳපන් ඇඳපන්’ කියා අප කීවාට ඇන්දේ නැත.

ධර්මරාජයේ පාසල් යන අවධියේ විනෝද චාරිකාවන්හි රබන්කාරයා වූයේ දම්මිකය. රබාන, බොංගෝව පමණක් නොව තබ්ලාවටද ඔහුගේ අත හුරු විය. අපස්වර මතු නොවන අයුරින් ගායනා කරන්නටද පුළුවන් විය.

පසුකාලීනව මේ සංගීත හැකියාවන් එළිදැක්වූණේ සමන් කුඹුකගේ මිතුරාගේ ගෙදර පැදුරු සාදවලදීය. ජපානයේ සතුටු සාදයකදී ඉඳහිටය. ජපානයේ පැවැති සංගීත ප්‍රසංග දෙක තුනකදී මම අත්වැල් ගායනා සඳහා දම්මිකට වේදිකාවට ආරාධනා කළෙමි. නන්දා මාලනී, අමරසිරි පීරිස් සමඟ පමණක් නොව උමාරියා සමඟද ප්‍රසිද්ධ වේදිකාවේ අත්වැල් ගායනා කරන්නට ඔහු ආවේය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා සන්නිවේදන අංශයේ ආචාර්යවරයකු ලෙස ඔහු ශිල්ප දැනුම දරු දැරියන්ට බෙදාදුන්නේය. සමහර ආචාර්යවරුන්ගේ දේශන ශාස්ත්‍ර දැනුමෙන් පෝෂිතය. එහෙත් නීරසය. එහෙත් දම්මික ඕනෑම නීරස දෙයක් පැණි වළල්ලක් සේ රස කිරීමේ කලාව ප්‍රගුණ කර සිටියේය.

ඒ නිසා ඔහුගේ දේශන දැනුමෙන් පමණක් නොව රසයෙන්ද පිරී තිබිණි. ශාස්ත්‍ර ඥානයත්, ජනප්‍රියත්වයත් එක සේ හිමිකරගත් දේශකයන් අතර දම්මික දෙවැනි වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පමණක් බව මගේ හැඟීමයි.

ජපානයේ විවිධ පළාත්වල සංචාරයේ යෙදෙන විට දම්මික ඊට එක් කරගැනීමට අප ලොල් වූයේ ඔහු ඕනෑම දේකට ඔරොත්තු දෙන ගමන් සගයෙක් නිසාය. ජපානයේ වෙසෙන ශාන්ත, බුද්ධි හා කේ‍යා් චං සමඟ අප ගිය ගමන් කිහිපයකටම ඔහු එක් විය. හොක්කයිදෝ ගමන ඉන් එකකි. පෙර කී මිතුරන්ට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දිමුතු සහ සංගීතවේදී නවරත්න ගමගේද මේ ගමනට හවුල් කර ගන්නට ලැබීම සතුට වඩන්නක් විය.

හොක්කයිදෝ වේ සප්පරෝ නුවර අමු මාළු අවන්හලක් දෙදරවමින් අපි සින්දු කීවෙමු. රහට සින්දු කියන, වතුර වගේ ජපන් කතා කරන, කරට අත දමා තමන් සමඟ සෙල්ෆි ගසන තරුණ පෙනුමැති කැරලි කොණ්ඩකාරයා ශ්‍රී ලංකාවේ තානාපති බව අවන්හලේ සේවය කළ ජපන් කෙල්ලෝ දැන නොසිටියහ.

මේ සියලු විනෝදජනක අවස්ථාවන්ට දම්මික සහභාගි වූයේ පිළිකාවට ප්‍රතිකාර ගන්නා අතරතුරය. ඔහු රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් ප්‍රශස්ත සේවාවක නිරත විය. ආගමික හා සමාජ කාර්යයන් සඳහා එක් විය.

ඔහු තරම් ජපානයේ ඇති ලාංකේය විහාරස්ථාන ළඟින් ඇසුරු කළ වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයකු නැති තරම්ය. පිළිකාව සමඟ පොරබදමින් සිටියද ඔහු සිය සේවාව කාර්යක්‍ෂමව හා විශිෂ්ට අන්දමින් ඉටු කළේය. පෙරළා ලංකාවට පැමිණි පසු මා ඔහුට යෝජනා කළේ ඉදිරි ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය. දම්මික පස්ස ගැහුවේය. ‍ෙදාස්තර ජයන්ත බලවර්ධන මගේ සහෘදයෙකි. මම ඔහුට කතා කොට දිනයක් වේලාවක් වෙන් කර ගත්තෙමි. ඔහු හමුවන ලෙස දම්මිකට බල කළෙමි.

සිය බාල සොහොයුරකුට මෙන් දම්මික ඇලුම් කළ සගයා ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරය. ‍ෙදාස්තර බලවර්ධන හමුවීමට දම්මික රැගෙන ගියේ ප්‍රණීත්ය. පසුව ප්‍රණීත් කීවේ සිය වෛද්‍ය වාර්තා සැලකිල්ලෙන් නිරීක්‍ෂණය කරනතුරු දම්මික සැහැල්ලුවෙන් බලා සිටි බවය.

ඉන්පසු කටහඬ අවදි කළ බවය. ‘ඩොක්ටර් තව කොච්චර කාලයක් මම ජීවත් වෙයිද? මම මේක අහන්නේ වෙන මොකටවත් නෙවෙයි. සරෝජායි, දුවලා දෙන්නයි වෙනුවෙන් කරන්න අතපසු වෙච්චි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවරයක් කරලා දාගන්න ඕනෑ..’

මා දන්නා තරමට දම්මික ඒ සියල්ලද කළේය. මරණයටද සූදානම් වූයේය.

ඇඳුම් පැලඳුම් හා පෙනුම ගැන ඔහු ජීවිතය පුරා බොහෝ සෙයින් සැලකිලිමත් විය. අප මෙන් අතට අහුවෙන මොකක් හෝ ඇඳ පැලඳ ගැනීම ඔහුගේ සිරිත නොවීය. අවසන් ගමන් යන ඇඳුම් කට්ටලයද ඔහු කලින්ම තෝරා ගත්තේය. ටයි පටිය පවා, දේහය තැන්පත් කරන පෙට්ටියේ මෙන්ම බිම එළන පලසෙහි වර්ණයද තෝරා ගත්තේය.

දේහය අසල තබන පින්තූරය සකස් කර ගත්තේය. මිය යන්නට සුළු වෙලාවකට කලින් වැඩිමහල් දියණිය සකී ළඟට ගෙන ‘මට දැන් යන්න වෙලාව හරි’ කීවේය. සරෝජාත්, සකීත් ඉදිරිපිට සිනාවක් පා යන්න ගියේය. ජීවිතයේ අන්තිම කාලයේ තවත් මොනවා හෝ ලියන්නට ඔහුට සිතක් පහළ වී තිබුණද ලියන්නට කාලයක් තමන් වෙත ඉතිරිව නැති බව ඔහු අවබෝධ කරගෙන සිටියේය. නමුදු ලිවීමේ ආසාව දුරස් කරගත්තේ නැත. ලිවීම ගැන සිහින මැව්වේය.

‘ආයෙම ලියන එක පටන් ගන්න තැනක් මට අහුවුණා.’
දිනක් රෝහල් ඇඳේ සිට මාවලගේට කිව්වේය.

‘අර මට රිද්දන්නේ නැතිව ඉන්ජෙක්ෂන් ගහන මිස්. එයාගෙ ඇස්දෙක බුදු හාමදුරුවන්ගේ වගේ කරුණාවයි. ඒ ඇස් දෙක ගැන තමයි ලියන්න හිතුවෙ’ දම්මික කීවේය.

ඒත් ඒ ගැන ලියන්න කලින් දම්මික ඇස් පියා ගත්තේය.

(සමන් අතාවුදහෙට්ටි ලියුවකි)

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *