ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන්නට සූදානම් වුණු ලාංකීය දමිළ පවුලක් ගැන පුවතක් පසුගිය දිනවල ප්රවෘත්ති වෙබ් අඩවි වල පළවුණා. ලංකාවට පිටුවහල් කරන්නට ගුවන් යානයක ගමන් කරවමින් සිටියදී නිකුත් වුණු අධිකරණ නියෝගයක් නිසා නැවත ඕස්ට්‍රේලියාව වෙත රැගෙන ආ එම පවුලේ සාමාජිකයින්ව පසුව ක්‍රිස්මස් දූපත වෙත යැවූ බවට කරුණු වාර්තා වුණා. එසේ එම දූපත වෙතට ඔවුන්ව යවනු ලැබුවේ ඔවුන්ට රැකවරණ ලබාදීම ඕස්ට්‍රේලියානු සංක්‍රමණික බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.
සංක්‍රමණික බලධාරීන්ගෙන් මෙම පවුලට අනුකම්පාවක් හිමි නොවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඔවුන් තමන්ගේ වීසා අයදුම්පත්වල ව්‍යාජ කරුණු සඳහන් කර තිබීම හේතුවෙන් බවයි නවතම ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබෙන්නේ. නඩේසලිංගම් සහ ප්‍රියා නැමැති මෙම පවුලේ සැමියා සහ බිරිඳ වෙන් වෙන් වශයෙන් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙනවා. 2001 වසරේදී තමන්ව බලහත්කාරයෙන් එල් ටී ටී ඊ සංවිධානයට බඳවා ගනු ලැබූ බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා හමුදාවෙන් තමන්ට හිරිහැර සිද්ධ වුණු බවත්, එමනිසා ඕස්ට්‍රේලියාවේ රැකවරණය පැතූ බවත් තමයි ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ.
කෙසේ නමුත් පසුව කරන ලද සොයාබැලීම් වලදී හෙළිවී ඇත්තේ නඩේසලිංගම් 2004 සහ 2010 වසර වලදී රැකියා කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවකුයි. එල් ටී ටී ඊ සම්බන්ධකම් උදෙසා සැකකරන පුද්ගලයෙක් නම් ඔහුට එසේ නිදහසේ ශ්‍රී ලංකාවට යාමට හැකියාවක් නොලැබෙන බවටයි ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ.
මේ පවුලේ අනාගතය තීන්දු කරන අධිකරණ තීන්දුව අද දවසේ ලැබීමට නියමිත බවටයි කරුණු වාර්තා වෙන්නේ.