“වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි”- මහ බැංකුවෙන් වැටී දිවි අහිමිවූ පුතුගේ තාත්තා මරණය ගැන කියන කතාව

මහ බැංකු ගොඩනැගිල්ලෙන් පැන ජීවිතය අහිමි කරගත් මහ බැංකුවේ නීති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සිරිකුමාර කුඩාගමගේ මහතාගේ පුත් නිදුක් සම්බන්ධයෙන් ඔහුගේ පියා අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ තම දරුවාට සිය දිවි නසා ගැනීමට ප්‍රශ්නයක් නොතිබූ බවයි.

ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව හෝ කිසිම ආරංචියක් නොතිබුණු බවත් ඔහු සඳහන් කර තිබුණා.

තම දරුවා සම්බන්ධයෙන් සහ ඔහුගේ අවසන් මොහොත සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.

“මගෙ පුතා හරිම සුරතල්. පුංචි කාලේ ඉඳන්ම පුතා නිදාගත්තෙ මගෙ දකුණු උරහිසට ඔළුව තියාගෙන. ඒ දරුවා ඊයේ පෙරේදා වෙනකම්ම නිදා ගත්තෙ මගෙ ළඟයි.

පුතා ඉපදිලා අවුරුදු හතරකට පස්සෙ තමයි දුව ඉපදුණේ. දෙන්නම මගෙ ළඟ තමයි නිදාගන්නෙ. පුතා පාසල් යන්න ළංවෙන කොට ඒ ළමයව හොඳ පාසලකට යවා ගන්න මට ඕනෑකම තිබ්බා. ඒත් මම කවදාවත් හොර ලියකියවිලි හදන්න කැමැති වුණේ නෑ, ගාල්ල රිච්මන්ඩ් එකට දාන්න විදිහකුත් තිබුණෙ නෑ අපි කොළඹ රස්සා කරපු හින්දා.

මේ දරුවා හරිම හොඳ කීකරු දරුවෙක්. එයා ඉගෙන ගන්න දක්ෂයි. කරාතේ ක්‍රීඩාව, පිහිනුම් ක්‍රීඩාවට එයා දක්ෂයි. පුතා චෙස් ක්‍රීඩාවටත් දක්ෂයි. එයා එක පාරක් චෙස් තරගාවලියේ ශූරතාව පවා දිනා ගත්තා.

මේ පුතා මටයි, අම්මටයි, දුවටයි පුදුම ආදරයෙන් හිටියේ. අපි උදේට උයන්න පටන් ගත්තම පුතා ඇවිත් අම්මව බදාගන්න හැටි මට මතක් වෙනවා. මොනතරම් හොඳ දරුවෙක්ද අපිට නැති වුණේ. වෙච්ච දේ හීනයක් වගේ.

පුතා කිලෝමීටර් අටක් විතර දුවනවා. එයා එයාගෙ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කළා. පිරිසුදුව, පිළිවෙළට ඉන්න දරුවෙක්. කොණ්ඩෙ ලස්සනට තියාගන්න උත්සාහ කළා. මෙයා ගැන මෙයා කරපු කියපු දේවල් මතක් වෙනකොට ඒක දරාගන්න බෑ.

එදා තාත්තෙ මම ටැක්සියක් අරන් ගෙදර යන්නද? නැත්නම් තාත්තගෙ ඔෆිස් එකට එන්නද? කියලා ඇමතුමක් අරන් මගෙනම් ඇහුවා.

පුතා ඔයා මගෙ ඔෆිස් එකට ගිහින් වාඩි වෙන්න. මම පොඩි මීටිමක ඉන්නේ කියලා මම කිව්වා.

පුතාට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. පුතා එදා ඉඳන්ම මාත් එක්ක හැමදේම කියනවා. අම්මාත් එක්කත් එහෙමයි. පුතාගෙ පෙම් සබඳතාවක්වත් තිබුණු බවක්වත් අප දන්නෙත් නෑ. අපට කියලත් නෑ. එහෙම තිබ්බ නම් එයා නොකියා ඉන්නෙත් නෑ. අපට සිදු වූ මේ විපත අදටත් හීනයක් වගේ. මොකක්ද මේ වුණේ. මගේ පුතා හොරු අරගෙන ගියා වගේ

අපේ ගෙදර මොකක් හරි වැඩකට එන අයට අඩුමකුඩුම අඩංගු තෑග්ගක් දෙන්න පුතා පුරුදු වෙලා හිිටියා. කුලී වාහනයකින් ගෙදරට ආව නම් කුලී මුදලට අමතරව කීයක් හරි වැඩිපුර දෙන්න පුරුදු වෙලා හිටිය දරුවෙක්. හරිම හොඳ ගතිගුණ තිබුණු මගේ පුතාට වෙච්ච දෙයක්.

මම පුතා ඇහැක් වගේ තමයි බලාගත්තෙ. පිය – පුතු සෙනෙහසට එහා ගිය මිත්‍රත්වයක් තිබුණා. අවබෝධයක් තිබුණා. බැඳීමක් තිබුණා. නමුත් එච්චර ළඟ හිටපු මටත් මේ දරුවව ආරක්ෂා කරගන්න බැරි වුණා. ලබන අවුරුද්දේ පුතා වෛද්‍ය උපාධිය හදාරන්න ඕස්ට්‍රේලියාවට යන්න ඇඟිලි ගැන ගැන හිටියේ. සියලු දේ අපට නැතිවුණා.

අපි වැඩිහිටියො හැටියට දරුවන්ගෙන් ගෞරවය බලාපොරොත්තු වෙනවා. නමුත් මම හිතන්නේ දරුවන්ගෙ ළමා ලෝකෙ ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා මට දැන් හිතෙනවා. වැඩිහිටි අපි දරුවන්ටත් ගෞරව කළ යුතුයි කියලා. ඒ අයගෙ සිතුම් පැතුම්වලට ගෞරව කළ යුතුයි. රත්තරන් පුතාට වෙච්ච දේ නම් මට හීනයක් වගෙයි.”

You May also like

1 Comment

  1. එම ලිපිය කියවූ විට න දෙයක් තමයි එම දෙමව්පියන් දරුවන් සමග මිත්‍රව ඉන්න උත්සාහ කරපු බව දරුවන්ට මිත්‍රයන් ඇසුරුකරන නොදී දෙමව්පියන් දරුවන් සමඟ මිත්‍රව වීමට යමින් මෙවන් දේවල් සිදුවිය හැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *